සංචරණ සීමා දැඩිව පැනවීම කඩිනමින් කරන්න

සංචරණ සීමා දැඩි ලෙස පැනවීම කල් නොමරා සිදු කරන්න - විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

by Staff writer 10-08-2021 | 9:46 PM

COLOMBO (News 1st) -  සංචරණ සීමා දැඩි ලෙස පැනවීම ඉතා ඉක්මණින් කල් නොමරා සිදු කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලා සිටී.

එම සංගමය අවධාරණය කරන්නේ, එසේ නොකර සිටීම සුළු කොට නොතැකිය යුතු බවයි. ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරයාමත් සමග සියලු සෞඛ්‍ය අංශ උපරිම ධාරිතාවයට පත්ව ඇති බවත් මෘත ශරීරාගාර පවා උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඇති හැකියාව සීමා කරමින් මේ වනවිට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට සිදුව ඇති බැවින් කාර්ය මණ්ඩල සීමා සහිත වීම නිසා දින කිහිපයකින් රට විශාල අර්බුදයකට යාමට ඇති හැකියාව ඉතා පැහැදිලි බව එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එන්නත්කරණය සම්පුර්ණ කිරීමට තවත් දෙතුන් මසක් ගතවන බව තම සංගමයේ විශ්වාසය බැවින් සංචරණ සීමා දැඩි ලෙස පැනවීම අප සතුව ඇති ප්‍රධාන අවිය බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මතයයි. එසේ කිරීමෙන් ප්‍රතිකාර කටයුතුවල නිරත සියලුම කාර්ය මණ්ඩලවලට යම් සහනයක් ලැබෙනු ඇති අතර එය අත්‍යවශ්‍ය බව ද එම සංගමයේ මතයයි. සංචරණ සීමා ප්‍රතිඵලදායී වීමට අවශ්‍ය නම් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කෙරන ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශ කිරීමට සිදුවිය හැකි බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි. එම සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් පාලනය සඳහා අවශ්‍ය නීතිමය මෙන්ම අනෙකුත් දැඩි ක්‍රියාමාර්ග ගැන රෝගීන් ප්‍රමාණය මෙන්ම මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින මේ අවස්ථාවේ නැවත සිතා බලන ලෙසය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න,
සෞඛ්‍ය පද්ධතිය දැන් උපරිමටම යමින් ඉන්නේ ඉතිං ඒ අවශ්‍ය හේතු කාරණා නොගත්තොත් අපිව කඩා වැටීමකට භාජනය වෙන්න පුළුවන් මේක මූලිකවම තියෙන ක්‍රමවේදයක් සංචරණ සීමා කියන එක අවසාන දැනුම් දීමකිනුත් රජයට දැනුම් දීලා තියෙනවා. කොළඹ තියෙන ප්‍රධානම වෛරස් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය කියන එක තමයි තියෙන්නේ. අනෙක් නගරවලට ඒ ගාණටම ඩෙල්ටා ප්‍රභේදය පැතිරිලා නැහැ. මේක ඉතාමත් වේගයෙන් පැතිරෙන එකක් නිසා අපි හිතනවා මේක ඉතාමත් සුළු කාලයකින් අනිත් නගරවලටවත් පැතිරෙනවා කියන එක අපි දන්නවා.
ප්‍රශ්නය,

හතරවෙනි රැල්ලේ ආරම්භය ද මේ ?

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න,
සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ මේ තුන්වෙනි රැල්ල කියන එකයි. අපිට කියන්න ඕන වුණේ මේ තුන් වෙනි රැල්ලේ පහතට බැස්ම ඉවර වුණා කියන එක. දැන් නැග්ම කියන එක තමයි මූලිකවම සමාජයට දෙන්න ඕන වුණේ. මට හිතෙනවා තවමත් මේක හතර වෙනි එක කියන එක කියලා ලේබල් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ අරක ගියේ ඇල්ෆා ප්‍රභේදයෙන්. මේක ඉතාමත් වේගයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදයෙන් යන අලුත් නැග්ම ඩෙල්ටා ප්‍රභේදයෙන් යන්නේ කියලා.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම ගැන රජයේ ප්‍රතිචාරය කුමක් ද?

සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
ඇඳිරි නීතිය දානවා නම් දමන්න සිද්ධ වෙන්නේ අන්තිම අවශ්‍යතාවයක් ඇති වුණොත්. මං ඒක රූලවුට් කරන්න බැහැ ලෝකයේ යන ප්‍රවණතාවයන් එක්ක අපි කරන්නෙම නැහැ. අපි කරන්නෙම නැහැ එහෙම නැහැ මොනවත් එහෙම නැත්තම් එය අපේ අවසාන ඔප්ෂන් එක විකල්පය හැටියට අපි සලකන්නේ මොකද ඒක අපට රජයට සෞඛ්‍ය අංශ විසින් යම් පාලනයක් කරගෙන අපි විශ්වාස කරනවා බොහොම පැහැදිලිව මම විශ්වාස කරන්නේ ලෝකයේ ප්‍රධාන ප්‍රබලයින්ගේ ප්‍රකාශයන් පදනම් කරගෙන ඒ අයගේ ලෝකයම කියන දේ තමයි මේ ව්‍යසනයට තියන හොඳම සහ ආසන්නම වශයෙන් සර්ව සම්පූර්ණ විසඳුම තමයි එන්නත් කිරීම. අපි දැක්කනේ මේ පාර්ලිමේන්තුව තුළ ඇති විපක්ෂය කරපු විප්ලවය පහුගිය කාලේ ගේන්න බැහැ. සැප්තැම්බර් මාසේ වෙනකොට මිලියන 32 ක් එනවා. 18 න් වැඩි සියලුම දෙනාට එන්නත් දෙකම ලබාගන්න පුළුවන් තැනකට රට පත්කරන්න ඕන. මතක තියාගන්න ඉස්සල්ලාම මිලියන 12 ක් තමයි ඇස්ට්‍රාසෙනෙකා එක සීරම් ආයතනයෙන් ඕඩර් කළේ ඒ කල්ලා තමයි අපි බොහොම සංතෝෂයෙන් හිටියේ. හැබැයි ලෝකයේ ඇතිවිච්ච තත්ත්වයන් තුළ විශේෂයෙන් ඉන්දියාවේ ඇතිවිච්ච තත්ත්වය තුළ ඔවුන්ට පනස්දාහක්වත් පිටට දිගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඒ වගකීම් අනුව අපගේ ඉලක්කය තමයි එන්න ඒ පහසුකම ලබලා දීලා ඉතුරු ටික දෙවියන්ට භාරදෙන්න. ඇදිරි නීතිය ගේන්නේ ආණ්ඩුව නෙවෙයි ජනතාව විසින් ක්‍රියාත්මක වෙන ආකාරය ඇතිවෙන ප්‍රවණතාවයන්වලට පිළිතුරක් තමයි දෙන්න වෙන්නේ එහෙම සිද්ධ වුණොත්