දිවයින පුරා ස්ථාන රැසකදී අදත් එන්නත්කරණය

විහාරමහාදේවී උද්‍යානය, දියත උයන ඇතුළු දිවයින පුරා ස්ථාන රැසකදී අදත් එන්නත්කරණය...

by Staff writer 10-08-2021 | 9:00 AM

COLOMBO (News 1st) – දිවයින පුරා ස්ථාන රැසක අදත් කොරෝනා මර්දන එන්නත්වල පළමු හා දෙවැනි මාත්‍රා ලබා දීම සිදු කෙරේ.

හමුදා ප්‍රකාශක බ්‍රෙගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් ක‌ළේ, අද සහ හෙට බත්තරමුල්ල දියත උද්‍යානයේදී සයිනෝෆාම් පළමු වන හා දෙවන මාත්‍රාව ලබාදෙන බවය. ඊට අමතරව ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ද දියත උද්‍යානයේදී ලබාදෙනු ඇති. මේ අතර කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී ද අද දිනයේත් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා සයිනෝෆාම් එන්නතේ පළමු හා දෙවන මාත්‍රාව ලබාදෙන බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, ඊට අමතරව ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ද අද දිනයේදී විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී ලබාදෙන බවයි. මීට අමතරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල මගින් හා දිවයිනපුරා පිහිටි රෝහල් රැසක ද එන්නත් ලබාදීමට පහසුකම් සලසා තිබේ. ඒ සඳහා පිහිටුවා ඇති එන්නත්කරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 300 කට අධික ය.