"ආණ්ඩුව සෙල්ලම් කරන්නේ අහිංසක ජන ජීවිතත් එක්ක"

වත්මන් තත්ත්වය ගැන සියලු පක්ෂ එකතු වී සාකච්ඡා කොට කඩිනම් තීන්දුවක් ගැනීම අත්‍යවශ්‍ය වුවත් ආණ්ඩුව ඒ ගැන කිසිදු උනන්දුවක් දක්වා නැහැ - විපක්ෂ නායක

by Staff writer 10-08-2021 | 6:25 PM

COLOMBO (News 1st) - රට මුහුණ දී සිටින වත්මන් බරපතල තත්ත්වය පිළිබඳව සියලු පක්ෂ එකතුවී සාකච්ඡා කොට කඩිනම් තීන්දුවක් ගැනීම අත්‍යවශ්‍ය වුවත් මේ දක්වා ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු උනන්දුවක් දක්වා නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, ආණ්ඩුවේ හිතුවක්කාරී මනෝභාවය එයින් පෙනී යන බවය. ඔවුන් සෙල්ලම් කරමින් සිටින්නේ, රටේ අහිංසක ජන ජීවිත සමග බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා මෙයින් සිදුවන අතිශය කණගාටුදායක ප්‍රතිඵලයට වන්දි ගෙවන්නට වන්නේ ද රටේ අහිංසක ජනතාවට බව සිහිපත් කර තිබේ. සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවන ගෑස් සහ කිරිපිටිවල බරපතල හිඟයක් මේ වනවිට රටපුරා මතුව ඇති අතර, මේ වනවිටත් ඉන්ධන සංචිතවල ද බරපතල හිඟයක් පවතින බවය. තෙල් ආනයනය කිරීමට ඇති බරපතල ගැටලුව විසඳා නොගතහොත් බරපතල ඉන්ධන හිඟයකට ද ලංකාව මුහුණ දෙනු ඇතැයි ඔහු සිය නිවේදනයෙන් අනතුරු අඟවා සිටී. ආණ්ඩුව පැමිණි වහාම ධනවතුන්ට බදු සහන ලබාදෙමින් රුපියල් බිලියන 600 ක පමණ මුදලක් අහිමි කරගත් බව පෙන්වාදෙන විපක්ෂ නායකවරයා ශ්‍රී ලාංකික වැඩිහිටියකුට සිය වැටුපෙන් සියයට හැටහයක් ආහාර වෙනුවෙන් වැය කිරීමට සිදුවන තත්ත්වයක් මේ වනවිට මතුව ඇති පවසන්නේ එක්සත් රාජධානියේ ගෝලීය ජීවන වියදම් දත්ත පද්ධතිය උපුටා දක්වමිනි. ඔහු පෙන්වා දෙන්නේ, ආහාර වියදම දරා ගැනීමේ හැකියාව අතින් ලොව දුප්පත්ම රටවල් අතර 5 වැනි ස්ථානයට අපේ රට තල්ලු වී ඇති බවය. මේ අතර කොරෝනා ව්‍යසනයෙහි උච්චස්ථානයට ශ්‍රී ලංකාව ළඟා වෙමින් සිටින අතර ආණ්ඩුව අතින් එහි පාලනය අතිශය අසාර්ථක ලෙස ගිලිහී ගොස් ඇතැයි විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත. ඔහු පවසන්නේ, ආණ්ඩුව ක්‍රමානුකූලව සහ ඉතා සාර්ථක ලෙස සිදුකරමින් සිටින එකම කාර්යය වන්නේ මුළු මහත් රටත් එහි ජනතාවත් මහා ව්‍යසනයක දොරටුව වෙත තල්ලු කිරීම පමණක් බවය. රටේ තත්ත්වය මොහොතින් මොහොත බරපතල ව්‍යසනකාරී තත්ත්වයක් කරා ඇදෙමින් පවතින අතර මහා අභිෂේකයකින් පසුව පත්කළ නව මුදල් අමාත්‍යවරයා යටතේත් සිදුවන්නේ මෙතෙක් සිදු වූ සුපුරුදු ක්‍රියාපිළිවෙත පමණක් බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ, වෙනසකට ඇත්තේ විනාශය වෙනදාටත් වඩා උග්‍ර වීම පමණක් බවය.