by Staff writer 10-08-2021 | 10:39 AM
COLOMBO (News 1st) – සංචරණ සීමා ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ඉතා කඩනමින් කල් නොමරා කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.
එසේ නොකර සිටීම සුළුකොට නොතැකිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කළේ ය.
එසේ කිරීම මගින් බලාපොරොත්තු වන්නේ , දැනට උච්චතම අවස්ථාවට පැමිණ ඇති ප්‍රතිකාර කිරීමේ හැකියාව යම් කිසි තරමකට හොද මට්ටමක පත්වනු ඇති බවයි.
සංචරණ සීමා ප්‍රතිඵලදායීවීමට නම් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ඇඳිරි නීති තත්ත්වයක් වුවද ප්‍රකාශ කිරීමට සිදුවිය හැකි බවද තම විශ්වාසය බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
එම සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා පාලනය සඳහා අවශ්‍ය නීතිමය කටයුතු මෙන්ම අනෙකුත් දැඩි ක්‍රියාමාර්ග ගැන , රෝගීන් ප්‍රමාණය මෙන්ම මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින මෙම අවස්ථාවේ නැවත සිතා බැලිය යුතු බවයි.
කොරොනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉතා දැඩි ලෙස රට තුළ පැතිර යමින් පවතින මේ මොහොතේ රටේ සියලුම සෞඛ්‍ය අංශයන්හි උපරිම ධාරිතාවට පැමිණ තිබේ.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ , මෘත ශරීරාගාරද ඒවායේ උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි.
රජයේ මෙන්ම පෞද්ගලික වෛද්‍ය සේවාවන්වලට ද මෙය එක ලෙස බලපා තිබේ.
මාත්‍රා දෙකක් ලබාදී අවසන්වීම මගින් සංඛ්‍යාත්මක ලෙස එන්නත්කරණය අවසන් කිරීමට බලාපොරොත්තු වන ජනගහණ ඉලක්කය කරා ළඟා වීමට තව දෙතුන් මසක් පමණ ගතවන බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ ය.
එම සංගමය අවධාරණය කර සිටින්නේ , එම කාලය ළඟා වනතුරු තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා දැඩි ලෙස පැනවීම අපට ඇති ප්‍රධානම අවිය ලෙස සැලකිය යුතු බව සිය හැඟීම බවයි.