by Staff writer 09-08-2021 | 10:54 PM
COLOMBO (News 1st) - 2015 වසරේ සිදු වූ ද්විත්ව ඝාතනයක සුලමුල සොයා ගැනීමට වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ.
යාපනය, කෝන්ඩාවිල් සිට වව්නියාවට ගමන් කරමින් සිටියදී පරමේෂ්වරන් සජින්තිකා සහ ඇයගේ මාස 06 ක බිළිඳා අතුරුදන් වූ බවට පසුගිය වසර ගණනාව තුළම විශ්වාස කෙරිණි.
එහෙත් පවුලේ ඥාතීන් මේ පිළිබඳව දිගින් දිගටම මතුකළ සැකයත් සමග විමර්ශන ක්‍රියාත්මක කළ පොලීසිය පරමේෂ්වරම් සජින්තිකාගේ පෙම්වතා බව කියන අයෙකු අත්අඩංගුවට ගත්තේ ය.
දිගින් දිගටම ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කරමින් සැකකරු පවසා ඇත්තේ, යාපනයේ සිට අදාළ කාන්තාව සහ බිළිඳා වව්නියාවේ මුරුගනූර් ප්‍රදේශයේ පිහිටා ඇති නිවසකට රැගෙන ගොස් ගෙළ සිරකර ඝාතනය කළ බවය.
අනතුරුව ඇගේ මළ සිරුර ගිනිතබා ඒ මතට සීනි දැමූ බව ද සැකකරු පාපොච්චාරණය කර ඇත.
සැකකරු පොලීසියට පවසා තිබුණේ, තමන් සහ මියගිය පෙම්වතිය අතර ඇති වූ පොරබැඳීමේදි ඊට මැදිව බිළිඳා ද මියගොස් තිබූ බවයි.
අනතුරුව බිළිඳු සිරුර ද කාන්තාවගේ සිරුර පිළිස්සෙන ස්ථානයටම දැමූ බව මේ පුද්ගලයා පවසා තිබේ.
අතුරුදන් වූ බව පැවසූ කාන්තාවගේ දුරකතනය කොළඹ ප්‍රදේශයේදී භාවිත වීම පිළිබඳව පොලීසිය පරීක්ෂණවලින් අනාවරණය කර ගැනීමත් සමග විමර්ශන පුළුල් කරමින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු කළ අනාවරණයට අනුව වව්නියාව මරදන්කුලම් , මුරුගනූර් ප්‍රදේශයේ නිවසක් පිටුපසින් සිරුරුවල කොටස් ඊයේ දිනයේ ගොඩගනු ලැබුවේ ය.
සැකකරු පසුගිය වසර 06 තුළ කොළඹ සහ නුවරඑළිය ප්‍රදේශවල මෙන්ම විදෙස්ගතව ද ජීවත්ව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
සැකකරු ලබන 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කෙරිණි.