by Staff writer 08-08-2021 | 2:50 PM
COLOMBO (News 1st) – විශ්වයේ අසිරිමත් ක්‍රීඩා සැණකෙලිය 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල අද අවසන් විය.
ඒ, අමෙරිකාවට වැඩි ගෞරව දිනා දෙමිනි.
පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වසර දක්වා කල් දැමූ අතර එය පසුගිය මස ආරම්භ වූයේ රටවල් 206ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකොලොස් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙනි.
"මූවිං ෆෝර්වර්ඩ් හෙවත් ඉදිරියට ගමන් කිරීම'' යන තේමාවෙන් පැවැති ඊට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකුට සහභාගී වීමේ අවස්ථාව හිමි විය.
ක්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවය අද ආරම්භ වුණේ, අන්තර් ජාතික ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බාක් සහ ජපානයේ ඔටුන්න හිමි අකිෂිනෝ කුමරුගේ ප්‍රධානත්වයෙන් ය.
මෙවර සමාප්ත උත්සවය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි නොවූ අතර ඔවුන්ට අන්තර්ජාලය ඔස්සේ එය නැරඹීමේ අවස්ථාව ලබා දී තිබුණි.
එකමුතුකමේ සංකේතය රැගත් ඔලිම්පික් නිල ලාංඡනය ක්‍රීඩාංගණයේ ඉහළ අහසේ නිර්මාණය කළේ, තාක්ෂණික අංශයෙන් ජපානය සතු ප්‍රවීණත්වය විදහා දක්වමිනි.
විචිත්‍රාංග රැසකින් එම සමාප්ත උත්සවය සමන්විත විය.
මේ අතර සාම්ප්‍රදයානුකූලව මැරතන් ඉසව්වේ ජයග්‍රාහකයින්ට ජය සංකේත ප්‍රධානය සිදු කෙරුණේ, අද පැවැති සමාප්ත උත්සවයේදීය.
එහි පිරිමි සහ කාන්තා අංශ දෙකේම රන් පදක්කම් කෙන්යා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගත්හ.
2024 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන ප්‍රංශයට ඔලිම්පික් ධජය නිල වශයෙන් ප්‍රධාන කළේ ද අද පැවැති සමාප්ත උත්සවයේදීයි.
ඉසව් 339 කින් දින 19 ක් පැවැති 32 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වැඩි ගෞවර දිනා ගත්තේ රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 41ක් සහ ලෝකඩ පදක්කම් 33ක් ද සමගින් මුළු පදක්කම් 113 ක් දිනූ අමෙරිකාවයි.
රන් පදක්කම් 38ක් ද සමගින් මුළු පදක්කම් 88ක් දිනූ චීනය දෙවැනි ස්ථානයට පත් වූ අතර රන් පදක්කම් 27ක් ද සමගින් මුළු පදක්කම් 58ක් දිනූ සත්කාරක ජපානය තුන්වැනි ස්ථානයට පත් විය.
බ්‍රිතාන්‍ය සිව්වැනි ස්ථානයට පත් වූ අතර පස්වැනි ස්ථානය හිමිකර ගත්තේ, ඔලිම්පික් ධජය යටතේ තරග කළ රුසියානු කණ්ඩායමයි.