by Staff writer 07-08-2021 | 10:03 PM
COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකාවේ භාවිත කරන ගෑස් සිලින්ඩර අතරින් ලක්ෂ ගණනක් මේ වන විට හිස්වී තිබේ.
ලාෆ් ගෑස් භාවිත කළ පාරිභෝගිකයන්ට මේ දිනවල සිදුව තිබෙන්නේ ගෑස් සොයා රස්තියාදු වීමටයි.
ගෑස් ප්රශ්නය එළියට එන්නේ මිල වැඩි කරන ලෙසට ලිට්ට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ඉල්ලා සිටීමත් සමගයි.
ඔවුන්ගේ තර්කය වූයේ, දැනට ක්‍රියාත්මක මිල ගනන් සකස් වී තිබෙන්නේ 2019 ජූලි මාසයේ ලෝක වෙළඳපොළේ පැවැති ගෑස් මිල හා ඩොලරයට සාපේක්ෂව බවයි.
ඒ වන විට ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 364ක් විය.
ඒ වන විට ඩොලරය රුපියල් 178 ක්ලෙසයි.
මේ දිනවල ලෝක වෙළෙඳ පොළේ ගෑස් මෙට්ට්‍රික් ටොන් එකක මිල ඩොලර් 658කි.
ඩොලරයේ වටිනාකම රුපියල් 207 කි.
මේ සියලු කාරණා සලකා බැලූ ඇමැති අනුකමිටුව දැඩි ලෙස කියා සිටියේ ගෑස් මිල වැඩි කිරීමට ඉඩ නොදෙන බවයි.
නමුත් සිදු වූයේ කුමක්ද?
වෙළඳපොලේ ගෑස් හිඟවීම පමණයි.
මේ අතර ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසන්නේ, රට තුළ කිසිදු ගෑස් අර්බූදයක් ඇති නොවන බව ඉතා විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළ හැකි බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, අලුතින් මිලදී ගන්නා හිස් ගෑස් සිලින්ඩරයකට රුපියල් 5450ට වඩා එක රුපියලක් වත් ගෙවිය යුතු නොමැති බවයි.
තවදුරටත් ලාෆ් ගෑස් එනතුරු බලා සිටිය නොහැකි ඇතැමෙක් ලිට්රෝ ගෑස් මිලදී ගැනීමට පෙළඹී සිටී.
නමුත් ඔවුන්ට මුහුණ දීමට සිදුව තිබෙන්නේ අනපේක්ෂිත තත්ත්වයකටයි.
සභාපති වරයා රුපියල් 5450 කියන සිලින්ඩරයක ස්ථාවර මිල ගෑස් නියෝජිතයින් දහස් ගණනින් වැඩිකර තිබේ.
එක් අතකින් කොරෝනා වසංගතය... අනෙක් අතින් ආර්ථික අවපාතය...
මෙවැනි තත්ත්වයක ගෑස් සිලින්ඩරයක මිලත් ඉහළ ගියොත් පාරිභෝගිකයා එය දරා ගන්නේ කොහොමද ?
ඉදිරි මාස වල දී යුරෝපයේ සහ උතුරු ඇමරිකාව ඇතුළු රටවල ශීත ඍතුව ආරම්භ වනවා.එවිට කර්මාන්ත සඳහා වන ගෑස් ඉල්ලුම ඉහළ යනවා.
ඒ අනුව ගෑස් ගැටලුව තවත් උග්‍ර වනු ඇති.
මෙය විසඳන්න ගන්නා ඉක්මන් පියවර කුමක්ද ?