කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වන්න ඉඩ තියන්න එපා...

දෙවන එන්නත් මාත්‍රාව දෙන ඕනෑම මධ්‍යස්ථානයකින් 30ට වැඩි ඕනෑම අයෙකුට පළමු මාත්‍රාව ගැනීමට පහසුකම් සලසන්නයි, ජනපතිගෙන් උපදෙස්

by Sagarika Chathumali 06-08-2021 | 6:44 PM

COLOMBO (News1st) : කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට පළමු මාත්‍රාව ලබා ගැනීමට පහසුකම් සලසන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ,  එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවයි. මේ අතර කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ද ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල්වලට දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළයාමක් වාර්තා වී ඇති බව ත් එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේ දී ඇතිවන තදබදය හේතුවෙන්, ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බව ත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත. හදිසි ඕනෑම අවස්ථාවක ආසාදිතයින් අපහසුතාවන්ට පත්වීම වැළැක්වීම සඳහා ප්‍රධාන නගර කිහිපයක් ආශ්‍රිතව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මීට මාස කිහිපයකට පෙර සිට ම සූදානම් කර ඇති බව ත් ඒ අනුව රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නන් පළමුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත්, පසුව තත්ත්වය නිරීක්ෂණය කර රෝහල් වෙතත් යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට පෙන්වා දී තිබේ. රෝහල් මට්ටමින් ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීමේ ක්‍රමවේදයක් සැකසීමට අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, සෞඛ්‍ය නිලධාරීන් සෘජුව මැදිහත් වන ලෙස ත් රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට අවශ්‍ය උපදෙස් මාධ්‍ය මගින් ජනතාවට නිරන්තරයෙන් ලබාදීම සෞඛ්‍ය විශේෂඥයන්ගේ වගකීම බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. මේ අතර වයස අවුරුදු 18ට වැඩි මෙරට සමස්ත ජනගහණයට සැප්තැම්බර් මසට පෙර එන්නත් මාත්‍රා දෙකම ලබාදිය හැකි පරිදි එන්නත් ඇණවුම් කර ඇති බව ද මෙම හමුවේදී අනාවරණය වී තිබේ. තෙවන මාත්‍රාවක් සඳහා වුව ද රජය සූදානම් වුවත් ජනතාවගෙන් රෝගය පැතිර යාම වැළැක්වීමට ලබාදෙන සහය අවම වීම කනගාටුදායක බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එම හමුවේදී පෙන්වා දී තිබේ. තව ද ගත වූ මාසය තුළ රට පුරා උද්ඝෝෂණ 120ක් පවත්වා ඇති බවත් මේ සෑම එකකටම අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇති බව ත් සෞඛ්

ය උපදෙස් පිළිනොපැද මෙලෙස වූ ජන ඒකරාශි වීම මෙම ඒකරාශි වීම රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වී ඇතැයි, බුද්ධි අංශ පෙන්වා දුන් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, නිලධාරීන් සහ මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.