COVID නිසා සාමාන්‍යයෙන් පැයකට පුද්ගලයින් 3 දෙනෙකු මිය යනවා - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

by Staff writer 05-08-2021 | 10:08 PM

COLOMBO (NEWS1ST) : පවතින තත්ත්වය හමුවේ පැයකට කොවිඩ් ආසාදිතයින් 3 දෙනෙකු පමණ දළ වශයෙන් මිය යන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එහි උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසන්නේ, මේ වනවිට රෝහල් කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරෙමින් පවතින බවයි.
''දැන් තියෙන තත්ත්වය අනුව වෛරසය හා එන්නත අතර තරගයක් තමයි දැන් තියෙන්නෙ. අපගේ රෝහල් පිරී ඉතිරෙන්න ඔන්න මෙන්න තත්ත්වයක තමයි දැන් තියෙන්නේ. ඊයේ සහ පෙරේදා සිදුවූ මරණ ප්‍රමාණය බැලුවම 82 ක් සහ 74 ක්. සාමාන්‍යයෙන් පැයකට තුන් දෙනෙක් පමණ මේ රෝගයෙන් දළ වශයෙන් මිය යනවා''
විශේෂඥ වෛද්‍යවරයා දියවැඩියාව, අධික රුධිර පීඩනය ,හෘද රෝග වැනි සංකූලතා ඇති පිරිස් ඇතුළුව සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ, නොපමාව එන්නත්කරණයට යොමු වන ලෙසයි.
''විශේෂයෙන්ම අපි ඔබට සඳහන් කරන්න ඕනේ, අපි නැවත නැවත ඔබට සදහන් කරනවා, දියවැඩියාව අධික රුධිර පීඩනය ,හෘද රෝග වැනි සංකූලතා තියෙන උදවිය විශේෂයෙන්ම උනන්දු විය යුතුයි නොපමාව ඒ තමන්ට ලබා ගත යුතු පළමු මාත්‍රාව හෝ දෙවැනි මාත්‍රාව නොපමාව ලබා ගන්න.ඉන් ඔබට ඉතා හොඳ ප්‍රතිශක්තියක් ලැබෙනවා. අපි දන්නවා වයස අවුරුදු 80 ක කෙනෙකුට මේ එන්නත් වලින් ප්‍රථීකාර ලබා ගත්තාට පස්සේ ප්‍රතිශක්තිය අවුරදු 50 ක පමණ කෙනෙකුගේ තත්ත්වයට පත් කරන්න පුළුවන්.නොපමාව එන්නත් ලබා ගන්න. ඒ එන්නත්වලින් ප්‍රතිශක්තිය ලැබෙන තුරු ප්‍රවේසම් වෙලා මේ මාස කිහිපය ගත කරන්න''
මේ අතර පවතින කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර සිටියේ, ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවත් රෝහල්වල සාමාන්‍ය වාට්ටු පවා මේ වනවිට කොවිඩ් ප්‍රථිකාර කටයුකු සඳහා සූදානම් කරමින් පවතින බවත් ය.
''රෝහල්වල කොවිඩ් රෝගින්ට ප්‍රථිකාර කරන්නට තිබෙන පහසුකම්වලට වඩා රෝගීන් ප්‍රමාණයක් එකතු වෙන බව තමයි අපිට පෙනෙන්නට තියෙන්නෙ. ඒ වගේම ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. ඒ වගේම තමයි අනෙක් සාමාන්‍ය වාට්ටුත් කොවිඩ් ප්‍රථිකාර කටයුකු සඳහා සූදානම් කරගෙන යනවා''
තව ද රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, සෞඛ්‍ය පුරුදු නිසි ලෙස පිළිපදින ලෙසයි. මේ අතර රෝහල් පද්ධතියේ සෑම අංශයකටම කොවිඩ් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය නොකඩවා සිදු කරගෙන යන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
''අපේ තියෙනවා හදිසි සැලසුමක්. ආපදා සැලසුමක්. අන්න ඒ සැලසුම ක්‍රියාත්මක කරලා ඒකේ තියෙන විශේෂ විධිවිධාන යටතේ මේ රෝහල්වල කටයුතු සම්පාදනය කර ගනිමින් අපිට ක්ෂණිකව මේ අවශ්‍යතා ඉෂ්ට කර ගන්න පුළුවන්. රෝහල් පද්ධතියේ තියෙන සෑම අංශයකටම කොවිඩ් ප්‍රථිකාර කිරීමට අවශ්‍ය කරන පහසුකම් සම්පාදනය නොකඩවා සිදු කරගෙන යනවා''
කෙසේ වෙතත් දෛනිකව රෝගීන් 3,500 ක් 4,000 ක් වැනි සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා පැමිණිය හොත් අනෙකුත් ප්‍රථීකාර සේවා අඩාල කර ගනිමින් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිදුවන බව ද ඔහු පැවසී ය. මේ අතර මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ යමින් ඇති අතර නොකඩවා 07 වන දිනටත් ඊයේ දිනයේ වාර්තාවූ ආසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගියේ ය. ඊයේ දිනයේ ආසාදිතයින් 2561 ක් වාර්තා වූ අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 82 කි. මේ අතර රෝහල් කිහිපයකම කොවිඩ් රෝගීන්ගේ රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් තිබේ. කරාපිටිය රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති ඇඳන් සංඛ්‍යාව 129 කි. අද පෙරවරුවේ රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, එහි ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 220 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඇදන් 70 ක් වෙන් කර ඇති රත්නපුර රෝහලේ ආසාදිතයින් 100 කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසී ය. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති ඇදන් සංඛ්‍යාව 54 කි. . මේවන විට එහි 156 දෙනෙක් කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිති. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා සෙසු වාට්ටුවල කොටසක් ද, යොදා ගෙන ඇති බවයි. තෙල්දෙණිය රෝහලේ ඇඳන් 160 ම මේ වනවිට සම්පූර්ණවී තිබේ. කළුබෝවිල රෝහල් වෙන්කර ඇති ඇඳන් සංඛ්‍යාව 160 කි. රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, මේ වන විට ආසාදිතයින් 250 ආසන්න පිරිසක් එහි ප්‍රතිකාර ලබමින් සිටින බවයි. අයිඩීඑච් රෝහලේ ඇඳන් ධාරිතාව ද ඉක්මවා යමින් තිබේ. එම රෝහලේ ඇදන් ධාරිතාව 200 ක් පමණ වන අතර, එම සංඛ්‍යාව මේ වන විට සම්පූර්ණ වී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසී ය.