කොවිඩ් මර්දනයට පරිපූරක ඇස්තමේන්තුවක්

දැනට භාවිත කරනු ලබන එන්නත් මෙරට තුළ වාර්තා වී ඇති සියලුම ප්‍රභේද සඳහා සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා - සෞඛ්‍ය අමාත්‍යවරිය

by Staff writer 05-08-2021 | 9:34 PM

COLOMBO (News 1st) - කොවිඩ් මර්දන ක්‍රියාවලිය සඳහා තවත් රුපියල් මිලියන 11,843.7ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ඒ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සඳහායි. රටේ කොවිඩ් ව්‍යප්තිය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නවලට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පිළිතුරු දුන්නේ වත්මන් තත්ත්වය ද පැහැදිලි කරමිනි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,
දිනකට වාර්තා වන රෝගින් සංඛ්‍යාව 2000ක් 2500 ක් පමණ වන ඉහළ අගයක් ගෙන ඇත. ඉදිරි මාසය තුළ වයස අවු. 30 ට වැඩි සියලු දෙනාටම එක මාත්‍රාවක් හෝ එන්නත්කරණය කිරීමට කටයුතු සම්පාදනය කර ඇත. මෙම වසංගතයෙන් නිරන්තරයෙන්ම උච්චාවචනය වන බැවින් කොවිඩ් රැල්ලක් ඇතිවීම සම්බන්ධව නිශ්චිතව සඳහන් කළ නොහැක. ජුලි 23 දින විසි තුන් දහස් අටසිය හතරක් වූ ප්‍රතිකාර ලබන රෝගින් සංඛ්‍යාව අගෝස්තු 1 වන දිනට තිස්දහස් දාහතක් ලෙස ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් පසුගිය දින 10 තුළ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගින් සංඛ්‍යාව එකසිය හතලිහත් එකසිය පනහත් අතර කළමනාකරණය කර ගැනීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හැකිවී ඇත. දැනට භාවිත කරනු ලබන එන්නත් මෙරට තුළ වාර්තා වී ඇති සියලුම ප්‍රභේද සඳහා සාර්ථකත්වයක් පෙන්නුම් කරනු ලබයි. දැනට ආයතන 2 කෙන් දිනකට දළ වශයෙන් ඔක්සිජන් ටොන් 77ක් නිශ්පාදනය කරනු ලබන අතර වෛද්‍ය අවශ්‍යතාවය වන ටොන් 44 ක් රෝහල් පද්ධතියට ලබා දෙන අතර ඉතිරිය කර්මාන්තශාලාවලට ලබාදී අවශ්‍යතාවය අනුව ඉහළ යන ඔක්සිජන් ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇත. ඒ අනුව අදාළ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇත. වයස 10 ට අඩු කොවිඩ් ආසාදිත දරුවන් දහ නවදාස් හයසිය අසු අටක් වාර්තා වී ඇත. වයස 10 ත් 18ත් අතර දරුවන් විසිහයදාස් එකසිය හතලිස් තුනක් අවු 18 ට අඩු දරුවන් 14 දෙනෙක් මේ වනවිට මිය ගොස් ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
ඔබතුමිට ස්තුතිවන්ත වෙනවා මං හිතන්නේ අපි කරුණු ඉදිරිපත් කරායින් පස්සේ ඔබතුමිය මං හිතන්නේ රාගම රෝහලට ගිහිල්ලා තියෙනවා. ඒකට බොහෝම ස්තූතියි. මං ඔබතුමිගේ අවධානය යොමු කරන්න කැමතියි කළුබෝවිල රෝහලටත්. මිදුලේ එළිමහනේ තමයි ඇඳන් දාලා තියෙන්නේ. එක වාර්තාකාරතුමියකුත් ඒක වාර්තා කරලා තියෙනවා. ඒ ගැනත් ඔබතුමිය හොයලා බලන්න. ඒ වගේම රත්නපුර රෝහලේත් ගාල්ල කරාපිටිය රෝහලේත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මං ඔබතුමිගෙන් ඉල්ලීමක් කරනවා විනිවිදබාවයෙන් යුක්තව මේ රටේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව රටේ ජනතාවට දැනගන්නට වැඩපිළිවෙළක් සකසන්න.
එක්සත් ජාතික පක්ෂයේ පා.ම. රනිල් වික්‍රමසිංහ මහතා,
මේ එන්නත ඔක්සිජන් ලබා ගන්න ඕක ආපහු ගිහින් ප්‍රසම්පාදන ක්‍රමවලට යන්න එපා. හදිසියේ අපි දාලා තියෙනවා නේ. ගන්න තියෙන තැනකින් ගන්න. පාර්ලිමේන්තුවට ගන්න අපි ඒවා අනුමත කරන්නම්. ඒවා අරගෙන එන්න. කාර්ය සාධක බලකාය තියනකන් අපි⁣ට තියෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි. මිනිස්සු මැරෙනවා. ඒක සිදු වෙන්නේ නැහැ. මම කියන්නේ කරුණාකරලා මේ කැබිනට් මණ්ඩලය මේක අරගෙන විශේෂයෙන්ම කොමිටියක් පත් කරන්න. අපි ඔක්කොම උදව් කරන්නම්