ප්‍රදේශ රැසක විරෝධතා

ගුරු - විදුහල්පති වැටුප් ගැටලුව සහ කොතලාවල පනතට එරෙහිව ප්‍රදේශ රැසක විරෝධතා

by Staff writer 05-08-2021 | 6:19 PM

COLOMBO (News 1st) - ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට විසදුම් ඉල්ලා සහ ගුරුවරුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් අදත් ප්‍රදේශ කිහිපයකදී විරෝධතා පැවැත්විය.

පාන්ගොල්ල මංසන්ධියේ සිට ඉබ්බාගමුව නගරය වෙත පාගමනින් පැමිණි ගුරු විදුහල්පති වෘත්තීය සමිති පිරිස් ඉබ්බාගමුව නගර මධ්‍යයේ දී විරෝධතාවයක නිරත විය. මේ හේතුවෙන් ඉබ්බාගමුව ප්‍රදේශයේ රථ වාහනවල ගමනා ගමනය සඳහා දැඩි බලපෑම් එල්ල විය. උද්ඝෝෂණය ආරම්භ කිරීමට ප්‍රථම ඊයේ(04) අත්අඩංගුවට ගත් ගුරුවරුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්විය. මේ අතර තවත් විරෝධතාවයක් පැවැත්වුණේ හොරණ නගරයේදීය. හොරණ, ගල්ගමුව විදුහල ඉදිරිපිටට පැමිණි ගුරු විදුහල්පති පිරිස් පාසල ඉදිරිපිට සිට විරෝධතාවයේ නිරත විය. මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යල පනතට එරෙහිව විරෝධතා පැවැත්විය. අම්බලන්ගොඩ ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවැත්වුණේ හම්බන්තොට කලාප ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ සහ ශිෂ්‍ය සංවිධානවල සහභාගිත්වයෙනි. විරෝධතාකරුවන් පා ගමනකින් අම්බලන්ගොඩ නගරයට පැමිණීම නිසා දැඩි රථවාහන තදබදයක් ද ඇතිවිය. මේ අතර හැටන් නගරයේදී ද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව තවත් විරෝධතාවයක් පැවැත්විය . විරෝධතාකරුවන් මිනී පෙට්ටියක් ද රැගෙනවිත් විරෝධතාවයේ නිරත විය. මේ අතර මඩකලපුව, කල්ලඩි පාලමේ සිට අරසඩි හන්දිය දක්වා ද විරෝධතා පාගමනක් පැවැත්වුණේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිවයි.