එන්නත් කාඩ් ළඟ තබා ගැනීම අනිවාර්යය කිරීමේ සුදානමක්

එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීමේ සුදානමක්

by Staff writer 05-08-2021 | 1:05 PM

COLOMBO (News1st) :  ජනතාව එන්නත්කරණයට යොමු නොවන්නේ නම්, එන්නත්කරණයට යොමු වූ  බවට සහතික කිරීමේ කාඩ්පත ඉදිරියේදී ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ව තිබේ.

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සියලු අංශ සමග මේ වන විටත්, සාකච්ඡා කර ඇති බවයි. යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, තවදුරටත් කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අය සිටී නම්, ඔවුන් පිළිබඳ සොයා බැලීමට ත්, එන්නත්කරණය සඳහා යොමු කිරීමටත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ග්‍රාම සේවකවරුන්ට උපදෙස් දී ඇති බවයි. මේ අතර රෝහල් ඇතුළු එන්නත්කරණ මධ්‍යස්ථාන 5ක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත ලබා දීම අද (05) යළි ආරම්භ විය. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මෙතෙක් කිසිදු එන්නතක් ලබා නොගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වේ නම් කඩිනමින් එන්නත්කරණයට යොමු වන ලෙසයි. ඒ අනුව, කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අයි ඩී එච් රෝහල, අවිස්සාවේල්ල දිසා මහ රෝහල සහ විහාර මහා දේවී උද්‍යානයේදී එන්නත්කරණයට යොමු විය හැකියි. මේ අතර, ඇස්ට්‍රසෙනෙකා දෙවැනි මාත්‍රාව ලබා ගත යුතු සියලු දෙනා ඊට කඩිනමින් සම්බන්ධ වන්නැයි, සෞඛ්‍යය අමාත්‍යාංශය දැනුම් දෙයි. අමාත්‍යංශය දැනුම් දෙන්නේ, කුමන හෝ කොරෝනා මර්දන එන්නතක් ලබා ගැනීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩු කරගත හැකි බවයි. එම කරුණු සැලකිල්ලට ගෙන එන්නත්කරණයට යොමු වන්නැයි, සෞඛ්‍යය අමාත්‍යාංශය අවධාරණය කර සිටී.