රෝහල්ගතවන කොරෝනා අසාදිතයින්ගේ ඉහළ යාමක්...

රෝහල්ගත වන කොරෝනා අසාදිතයින්ගේ ඉහළ යාමක්...

by Staff writer 05-08-2021 | 12:47 PM

COLOMBO (News1st) :  දෛනිකව කොරෝනා ආසාදිතයින් රෝහල්ගතවීම ඉහළ යමින් ඇතැයි, සෞඛ්‍යය අංශ පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවයි. කරාපිටිය රෝහලේ කොරෝනා ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති ඇඳන් සංඛ්‍යාව 129 ක් වන අතර, මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 220 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය. රත්නපුර රෝහලේ කොරෝනා ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති ඇඳන් සංඛ්‍යාව ද, මේ වන විට ඉක්මවා ගොස් තිබේ. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඇඳන් 70 ක් ඊට වෙන් කෙරුණ ද, මේ වන විට ආසාදිතයින් 100 ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බවයි. මහනුවර ජාතික රෝහලේ කොරෝනා ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති ඇඳන් සංඛ්‍යාව 54 ක් වුවත් මේවන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 156 කි. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිම සඳහා සෙසු වාට්ටුවල කොටසක් ද, යොදා ගෙන ඇති බවයි. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා ක්‍රියාත්මක තෙල්දෙණිය රෝහලේ ධාරිතාව ද උපරිම මට්ටමට ළඟා වී තිබේ. රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, වෙන් කරන ලද ඇඳන් 160 ම රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බවයි. රෝහලේ හදිසි ප්‍රතිකාර ඇඳන් 5 ක් ඇති අතර, එම සියල්ලම ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් මේ වන විට යොදා ගෙන අවසන් ය. කළුබෝවිල රෝහල් කොරෝනා ප්‍රතිකාර සඳහා වෙන්කර ඇති ඇඳන් සංඛ්‍යාව 160 කි. රෝහල් ප්‍රකාශකවෙකු පැවසුවේ, මේ වන විට ආසාදිතයින් 250 ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බවයි. IDH රෝහලේ ඇඳන් ධාරිතාව ද, ඉක්මවා යමින් තිබේ. එම රෝහලේ ඇඳන් ධාරිතාව 200 ක් පමණ වන අතර, එම සංඛ්‍යාව මේ වන විට සම්පූර්ණ වී ඇතැයි, රෝහල් ප්‍රකාශකයෙක් පැවසී ය. මේ අතර, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4727 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ වාර්තා කළ මරණ 82 ත් සමගයි. ඉන් 41 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර, සෙසු 41 දෙනා කාන්තාවන් ය. එම මරණ සංඛ්‍යාව දිනකදී මෙරට සිදුවූ  වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද, වේ.