UAE ගුවන් ගමන් තහනම ලිහිල් වෙයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල අතරමැදි මගීන්ට පැනවූ UAE ගුවන් ගමන් තහනම ඉවතට

by Staff writer 04-08-2021 | 11:56 AM

COLOMBO (News1st) :  ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය ඇතුළු රටවල අතරමැදි ගුවන් මගීන් සඳහා පැනවූ තහනම හෙට (05) සිට ලිහිල් කරන බව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය පවසයි.

ඒ අනුව වලංගු පදිංචිය සහිත සහ පූර්ණ එන්නත ලබා ඇති බවට සහතික කර ඇති පසුගිය දින 14 තුළ ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, නේපාලය, නයිජීරියාව හෝ උගන්ඩාව යන රටවල සංචාරය කළ අය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය පනවා තිබූ තහනම ඉවත් වනු ඇති. කෙසේ වෙතත්, එම අතරමැදි ගුවන් මගීන් ඒ සඳහා කොරෝනා ආසාදිතයින් නොවන බවට තහවුරු කරන PCR වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු ය. ඩුබායි ගෝලීය ගුවන් ප්‍රවාහනයේ අතරමැදි ගුවන් ගමන් සිදුකරන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකේ. දකුණු ආසියානු කලාපයේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමග අදාළ රටවල අතරමැදි ගුවන් මගීන්ට සිය රටට ඇතුල් වීම තහනම් කිරීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යය පසුගිය අප්‍රේල් මාසයේ පියවර ගත්තේ ය.