කරන්නාගොඩට එරෙහි චෝදනා ඉදිරියට ගෙන නොයාමේ තීරණයක්

වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා ඉදිරියට ගෙන නොයන බව නීතිපති අධිකරණයට දන්වයි

by Staff writer 04-08-2021 | 1:05 PM

COLOMBO (News1st) :  හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව පවතින චෝදනා තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බව නීතිපතිවරයා අද (04) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේ ය.

කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයන් අතුළු 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ, නීතිපතිවරයා පවරා ඇති නඩුවේ 14 වැනි විත්තිකරු වන්නේ වසන්න කරන්නාගොඩ මහතායි. විත්තිකරු තම දෙපාර්තමේන්තුව ගොනු කළ අධිචෝදනා පත්‍රයට එරෙහිව අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ අභියාචනාධිකරණය එම අභියාචනා පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙන තුරු ඔහුට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙසට නියෝගයක් කර ඇතැයි, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ අධිනිතිඥ ජනක බණ්ඩාර මහතා විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේ ය. එම අභියාචනාව ලබන 30 වනදා යළි කැඳවීමට නියමිත බවත් එදින නීතිපතිවරයාගේ ස්ථාවරය අභියාචනාධිකරණයට දැනුම් දෙන බවත්, රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ ය. කරුණු සලකා බැලූ චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන විනිසුරු මඬුල්ල නිතිපතිවරයාගේ එම ස්ථාවරය අභියචනාධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව අභියාචනාධිකරණය ලබා දෙන නියෝගය සැප්තැම්බර් 22 වනදා, සෙසු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටින අවස්ථාවේදීම තම අධිකරණයට දැනුම් දෙන ලෙසට අධිනීතිඥවරයා නියෝග කළේ ය.