චීන බලපෑමට ඉන්දියාව ඇතුළු රටවල් 4ක ප්‍රතිචාරය

චීන බලපෑමට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනියේ යුද නෞකා දකුණු චීන මුහුදට ළඟාවෙයි..

by Staff writer 04-08-2021 | 9:20 PM

COLOMBO (News 1st) - ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක යුද නෞකා මේ වනවිට දකුණු චීන මුහුදට ළඟා වී සිටී.

ඒ, එම කලාපය තුළ චීනයේ ඇති බලපෑමට ප්‍රතිචාර දැක්වීමක් ලෙසය. දකුණු චීන මුහුද චීනය හා අමෙරිකාව අතර ඇතිව තිබෙන සීතල ගැටුමේ එක් කඩඉමකි. සම්පත් බහුල මෙම මුහුද පිළිබඳ චීනය විසින් කළ නීතිවිරෝධී භෞමික ඉල්ලීම් අමෙරිකාව විසින් මීට පෙර ප්‍රතික්ෂේප කළේය. ඉන්දියාව මීට දක්වන ප්‍රතිචාරය නම් මාස දෙකක කාලයක් සඳහා යුද නැව් හතරකින් සමන්විත වූ කාර්ය සාධක බලකායක් දකුණු චීන මුහුදට යැවීමට ගත් තීරණයයි. එම කාලය තුළ කොඩ් රටවල් හි සාමාජිකයින් සමග යුද අභ්‍යාසයන්හි නිරත වීමට ද ඔවුන් බලාපොරොත්තු වේ. දශක දෙකකට ආසන්න කාලයකට පසු ජර්මනිය ද දකුණු චීන මුහුදට යුද නැවක් පිටත් කර හැරියේ ය. දශක දෙකකට ආසන්න කාලය තුළ ජර්මානු යුද නැවක් ඉන්දු පැසිපික් කලාපයට ගමන් කළ පළමු අවස්ථාව මෙයයි. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ, දකුණු චීන මුහුදේ ඇති උණුසුම් තත්ත්වය ද සැලකිල්ලට ගනිමිනි. මෙම පිටත්කර හැරීම් ඉන්දියාව, ජපානය, ඔස්ට්‍රේලියාව එක්සත් රාජධානිය සහ අමෙරිකාව චීනයට එරෙහිව ඇති කර ගත් කොඩ් සන්ධානයේ ශක්තිය විදහා දැක්වීමට ගත් තීරණයක් ලෙස විදෙස් වාර්තා සඳහන් කර තිබේ. ප්‍රංශය ද දකුණු චීන මුහුදට යුද නෞකා දෙකක් පිටත් කර හැර තිබේ. ප්‍රංශයේ ආරක්ෂක අමාත්‍ය ෆ්ලොරන්ස් පාර්ලි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, මෙය ඔස්ට්‍රේලියාව, අමෙරිකාව හා ජපානය වැනි හවුල්කරුවන් සමග එක්ව ප්‍රංශයේ නාවුක යුද ශක්තිය විදහා දැක්වීමේ ක්‍රියාවලියක් බවයි. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන එච්.එම්.එස්. එළිසබෙත් නෞකාව ද මේ වනවිට රඳවා ඇත්තේ දකුණු චීන මුහුදේය. පසුගිය මාසයේදී මෙම නෞකාව ශ්‍රී ලංකා මුහුදු කලාපය සමීපයේ ඇති බෙංගාල බොක්ක ආසන්නයේ ඉන්දියාව සමග ඒකාබද්ධ යුද අභ්‍යාසයක ද නිරත විය.