අලුත් වූ ලෝක වාර්තාව..

අලුත් වූ ලෝක වාර්තාව..

by Staff writer 04-08-2021 | 10:39 PM

COLOMBO (News 1st) - ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා ඉසව්වේ ලෝක වාර්තාව අද(04) අලුත් විය.

මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා ඉසව්වේ අවසන් තරගය අද උදෑසන පැවැත්විය. සිඩ්නි මැක්ලෝලින් එම ඉසව්ව, තත්පර 51 යි දශම 4 යි 6 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් රන් පදක්කම දිනා ගත්තේ, ඇය විසින්ම පිහිටුවා තිබූ එම ඉසව්වේ ලෝක වාර්තාව ද අලුත් කරමිනි. රිදී පදක්කම අමෙරිකාවේ ඩලීලා මොහොමඩ් දිනා ගත් අතර ලෝකඩ පදක්කම නෙදර්ලන්තයේ ෆෙම්කේ බෝල් දිනාගෙන තිබේ. කැනඩාවේ ඔන්ඩේ ඩී ග්‍රාස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තේ ය. ඒ, තත්පර 19යි දශම 6යි 2ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. රිදී පදක්කම අමෙරිකාවේ කෙනත් බෙඩ්නරෙක් දිනා ගත් අතර අමෙරිකාවේම නෝවා ලයිල්ස් ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය. කෙන්යාවේ එම්මෑනුවෙල් කොරී, මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ, මීටර් 800 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තේ ය. ඒ, මිනිත්තුවයි තත්පර 45 යි දශම 0 යි 6 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. කෙන්යාවේම ෆර්ගසන් රෝටිච් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් අතර පෝලන්තයේ, පැට්ට්‍රික් ඩොබේක් ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය. බ්‍රසීලයේ මාසලා ඇනා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කිලෝමීටර් 10 මැරතන් පිහිනුම් කාන්තා තරගයේ රන් පදක්කම අද දිනාගෙන තිබේ. එම ඉසව්වේ රිදී පදක්කම නෙදර්ලන්තයේ ශේරන් රුවන්ඩෝල් දිනාගත් අතර ලෝකඩ පදක්කම ඔස්ට්‍රේලියාවේ කරීනා ලී දිනාගෙන ඇත.