''අයවැයට තව මාස 3යි, ඉතින් ඒ මාස 3 ඉවසන්න බෑ ලු '' - අධ්‍යාපන ඇමති

by Sagarika Chathumali 04-08-2021 | 4:20 PM

COLOMBO (News1st) :  ගුරුවරුන්ට මීට වඩා වේතනයක් ගෙවිය යුතු බවට ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා නමුත් ප්‍රශ්නය විසඳිය යුත්තේ, නොවැම්බර් මාසයේ අයවැය තුළින් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකළේ අද ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා ඉදිරිපත් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙසයි. ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉදිරිපත්ව ඇති ගැටලු සඳහා පිළිගත හැකි විසඳුමක් ලබා දීමට රජය කටයුතු නොකරන්නේ මන්දැයි, එහිදී විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේ ය. විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා  ප්‍රශ්න කර සිටියේ, මෙම  අවස්ථාවේ ‍ගුරු - විදුහල්පතිවරුන් කරන ඉල්ලීම් සාධාරණ ද යන්නයි.
''ගුරුවරුන්ගේ වැටුප් අපි සත 5 කින් අඩු කරලා නැහැ. අයවැයට තියෙන්නේ තව මාස 3යි ඉතින් කියනවා ඒ මාස 3 ඉවසන්න බෑ ලු , මොනව වුණත් කමක් නෑ රටට, ආදායම් මාර්ග කොයි විදිහට කඩා වැටුණත් කමක් නෑ. වහාම මේක කරන්නැයි, කියලා මේක සාධාරණ ද දරුවන්ගේ දෙමව්පියන් හිතනව ද මේ සාධාරණයි කියලා''
මේ වනවිට මේ රටේ ගුරුවරුන්ගෙන් 87 %කට කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්‍රාව ලබා දී ඇති බවත් අගෝස්තු මාසයේ දෙවන මාත්‍රාව ලබා දීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත පාසල් විවෘත කිරීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත්  ප්‍රකාශ කළේ ය. මේ අතර විපක්ෂ නායකවරයා යළි ප්‍රකාශ කර සිටියේ, කෝටි ප්‍රකෝටි ගණනින් බදු සහන ලෙස ලබා දී රාජ්‍ය ආදායම නැති කරගැනීමෙන් පසු දැන් රජයට මුදල් නොමැති බවට අදෝනා නගන බවයි.
''ඔබතුමා අදෝනාවක් නගනවා කොහොන්ද මේවනට සල්ලි කියලා. ඔබතුමන්ලාට හැකියාව තිබුණා. කෝටි ප්‍රකෝටි ගණන් අරමුදල් බදු සහන ලෙස කෝටිපතියන්ට ලබා දෙන්න. ඒකෙන් තමයි රාජ්‍ය ආදායම නැති කරගත්තෙ දැන් රාජ්‍ය ආදායම නැති කර ගෙන අපිට සල්ලි නැතෙයි, සල්ලි නැතෙයි කියනවා''