අත්අඩංගුවට ගත් ගුරුවරුන්ට ඇන්ටිජන් පරීක්ෂණ

අත්අඩංගුවට ගත් ගුරුවර, ගුරුවරියන් ඇතුළු 44 දෙනාට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

by Sagarika Chathumali 04-08-2021 | 8:27 PM

COLOMBO (NEWS1ST) : ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවට අදාළව අත්අඩංගුවට ගත් ගුරවර , ගුරුවරියන්  ඇතුළු 44 දෙනා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, කොළඹ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් එම පරීක්ෂණ සිදු කරනු ලබන බවයි. අද පැවති විරෝධතාවට අදාළව එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ගරුවරියන් 16 දෙනෙකු , ගුරුවරුන් 22 දෙදෙනෙකු සහ තවත් පුද්ගලයින් 6 දෙනෙකු සිටින බව ඔහු වැඩිදුරටත් පැවසී ය. අත්අඩංගුවට ගත් පිරිස සමග වාහන 10 ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර පිරිස හෙට දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැටුප් විෂමතාව ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කඩවත, පන්නිපිටිය, වැලිසර , මහනුවර සහ මොරටුව යන ප්‍රදේශවල සිට රථ පෙළපාළිවලින් කොළඹට පැමිණියේ ය. රථ පෙළපාළිවලින් ජනාධිපති කාර්යාලය අසලට පැමිණි පිරිස පැයකට ආසන්න කාලයක් ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක නිරත වූ අතර ඒ හේතුවෙන් ගාලු පාරේ දැඩි රථවාහන තදබදයක් ද ඇතිවිය.