ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂකවරුන් 04 දෙනාට ඇප

ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරුන් 04 දෙනාට ඇප..

by Staff writer 03-08-2021 | 6:13 PM

COLOMBO (News 1st) - ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරුන් 04 දෙනාට කොළඹ මහාධිකරණය හමුවේදී අධි චෝදනා භාර දී ඔවුන් ඇප මත මුදා හැර තිබේ.

ඒ, එම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය. ඒ අනුව ජිවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන විත්තිකරුවන් 04 දෙනා අධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසි නියෝග අනුව අද අධිකරණය හමුවේ පෙනී සිටියහ. විත්තිකරුවන් 04 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප 08ක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළේය. එමෙන්ම, විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන පෙර වැරදි වාර්තා කැඳවන්නැයි ද නියෝග කළේය . ස්වර්ණාභරණ අලෙවි කිරිමේ මුවාවෙන් ආරම්භ කළ එම ආයතනයේ ශාඛා රටපුරා පිහිටුවා ගනුදෙනුකරුවන්ට ඉහළ පොලියක් ලබා දෙන බව ප්‍රකාශ කරමින් ගනුදෙනුකරුවන් පොළඹවා පොරොන්දු නෝට්ටු ක්‍රමයට තැන්පත් කර ගත් රුපියල් බිලියන 07ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය ඇතුළු අධි චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.