''මට ලබා දුන් දිරිගැන්වීම සියල්ලටම ස්තුතියි''

ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි: ''මට ලබා දුන් දිරිගැන්වීම සියල්ලටම ස්තුතියි'' - මැතිල්ඩා කාල්සන්

by Staff writer 03-08-2021 | 8:11 PM

COLOMBO (News 1st) - ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව තබා තිබූ අවසන් බලාපොරොත්තුවත් අද බිඳ වැටුණි.

ඒ, අශ්වාරෝහක තරග ඉසව්ව සඳහා එක් වූ මැතිල්ඩා කාල්සන් සුදුසුකම් ලබා ගැනීමේ තරගය සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙනි. අශ්වාරෝහක තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැතිල්ඩා කාල්සන් අද(03) සවස ඔලිම්පික් තරග බිමට පිවිසියා ය. එම සුදුසුකම් ලබා ගැනීම වටය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 73 දෙනෙකු එක්ව සිටියහ. තරගය සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඇයට තරගයෙන් ඉවත්වීමට සිදු වුණේ, ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවට තිත තබමිනි. මැතිල්ඩා කාල්සන් ඇයගේ අශ්වයා වූ ශොපේන් සමග සුදුසුකම් ලබා ගැනීමේ වටය ආරම්භයේදී සාර්ථකව තරග කළා ය. පළමු කඩඉම් සියල්ල සාර්ථකව නිම කළ මැතිල්ඩා කාල්සන්ගේ, අශ්වයා අවසන් මොහොතේ කඩයිමක් සම්පූර්ණ කිරීමට තවත් අවස්ථාවක් ලබා ගන්නා ආකාරය දක්නට ලැබුණි. අවසන් කඩඉම ආසන්නයට පැමිණි මැතිල්ඩාගේ අශ්වයා වූ ශොපේන් එය සම්පූර්ණ කිරීමට සමත් වුයේ නැත. ඒ අනුව ඇයට මෙවර ඔලිම්පික් තරග බිමෙන් ඉවත්වීමට සිදු විය. තරගයෙන් පසු අදහස් දැක්වූ මැතිල්ඩා කාල්සන්,
මම එක වැරැද්දක් කළා. මගේ අශ්වයා සාර්ථකව තරගයට මුහුණු දුන්නා. නමුත් මෙවැනි තරගයක් තුළ කිසිම වැරැද්දක් කරන්න හැකියාවක් නැහැ. මම එක් කඩඉමක් ආසන්නයටම පැමිණ එය පැනීමට උත්සාහ කළා. ඒ නිසා තමයි අශ්වයාගේ සමබරතාව ගිලිහුණේ. සමාජ මාධ්‍ය තුළ මට ලබා දුන් දිරිගැන්වීම සියල්ලටම ස්තූතිවන්ත වනවා.
මැතිල්ඩා කාල්සන් ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයට අද එක් වුණේ, අශ්වාරෝහක තරග ඉසව්වකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු ක්‍රීඩිකාව ලෙසයි.