රසායනික පොහොර ආනයනයට අවසර දුන්නා ද? - හර්ෂ ද සිල්වා

by Staff writer 03-08-2021 | 3:21 PM

COLOMBO (News1st) :  රසායනික පොහොර ආනයනයට අවසර ලබා දී ඇත්දැයි, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ ය.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ඊයේ සියලු බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත ඊට අදාළ නිවේදනයක් නිකුත් කර ඇති බවි. එම නිවේදනයට අනුව බලපත්‍රයක් යටතේ රසායනික පොහොර ගෙන්වීමට ගැසට් පත්‍රය මගින් අවසර දී ඇති බව මන්ත්‍රීවරයා පැවසී ය. නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් යන මූල ද්‍රව්‍යන්ගෙන් දෙවර්ගයක්, තුන්වර්ගයක් සහිත රසායනික පොහොර වර්ග තහනම් කර ඇති ලැයිස්තුවෙන් ඉවතට ගෙන ඇති බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසී ය. මන්ත්‍රීවරයා වැඩිදුරටත් සිහිපත් කර සිටියේ,  රසායනික පොහොර ආනයන තහනම රිවස් නොකරන බවට ජනාධිපතිවරයා දිගින්දිගටම ප්‍රකාශ කර සිටි බවයි. ඒ අනුව මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන්නේ, මෙවැන්නක් සිදු කර තිබේ ද? එසේ නොමැති නම්, බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ට යොමු කර ඇතැයි සඳහන් ලිපිය ව්‍යාජ එකක් ද? යන්න බව පිළිබඳවයි.