by Staff writer 03-08-2021 | 9:44 PM
COLOMBO (NEWS1ST) : රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම කර ඇති නිර්දේශ අනුව ඉදිරි පියවර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අද (03) තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
ඒ ජනක බණ්ඩාර මහතා ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි.
2015 ජනවාරි මස 8 වෙනිදා සිට 2019 නොවැම්බර් මස 16 වෙනිදා දක්වා කාල සීමාවේ සිදුව ඇතැයි, කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් ජනාධිපති කොමිසමක් පත්කර තිබිණ.
එම කොමිසම හමුවේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ද වග උත්තරකරුවෙකු ලෙස නම් කර තිබුණේ, ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කල වික්ටර් සමරවීර යන මහත්වරුන් ගොනුකළ පැමිණිලි දෙකකට අදාළවයි.
ඇවන්ගාඩ් ගනුදෙනු සම්බන්ධයෙන් මෙම පුද්ගලයින් දෙදෙනා පිළිබඳව සිදුකළ විමර්ශන සහ අධිකරණ කටයුතුවලට අදාළව මේ පැමිණිලි ගොනුකර තිබිණ.
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවේ නිර්දේශවල සඳහන් කර තිබුණේ, නිශ්ශංක සේනාධිපති හා වික්ටර් සමරවීර යන පුද්ගලයින් යම් වරදකට හසුකර ගැනීම සඳහා බොරු සාක්ෂිදීම, ආධාර අනුබලදීම ඇතුළු වැරද සිදුකර ඇති බැවින් දණ්ඩ නීති සංග්‍රහය හා අල්ලස් පනත යටතේ රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥවරයා ඇතුළු නම්කළ වගඋත්තරකරුවන්ට නඩු පැවරිය යුතු බවයි.
එම නිර්දේශ අභියෝගයට ලක් කරමින් රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න, දේවිකා අබේරත්න සහ බී.එන්. සමරකෝන් යන විනිසුරු මඬුල්ල හමුවේ අද විමසා බැලිණ.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න මහතාට, සෙසු කොමසාරිස්වරුන් දෙදෙනාට, ලේකම්වරියට සහ නීතිපතිවරයාට ලබන සැප්තැම්බර් 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසී නිකුත්කරන ලෙසයි.
ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වෙත දැනුම් දීමට 2021 ජනවාරි 18 වැනිදා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය අනුව කටයුතු කිරීම ද වළක්වමින් අභියාචනාධිකරණය අද තවත් තහනම් නියෝගයක් නිකුත් කළේ ය.