"සීමා ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්"

ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ගණන සීඝ්‍රයෙන් වර්ධනය වුවහොත් අපගේ ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවයද ඉක්මවා යනවා - විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

by Staff writer 03-08-2021 | 9:38 PM

COLOMBO (News 1st) - කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමත් සමගම ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ද ඉතා දැඩි ලෙස ඉහළ ගොස් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ඔවුන් අවධාරණය කරන්නේ, මෙම තත්ත්වය හමුවේ එවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවට දැනටමත් අප ළඟා වී ඇති බැවින් මෙය තවදුරටත් වර්ධනය වීමේ දැඩි අනතුරක් පවතින බවයි. ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වර්ධනය වුවහොත් තව දින කිහිපයකින් අපගේ ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවය ද ඉක්මවා යන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. ඔවුන් පවසන්නේ, ඔක්සිජන් හිඟතාව පමණක් නොව එය රෝගීන්ට ලබා දීමේදී ඇති පහසුකම් ද ඉක්මවා යන බැවින් මෙම තත්ත්වය මරණ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වීමට හේතුවක් වනු ඇති බවය. මෙවැනි තත්ත්වයක් යටතේ රට තුළ තිබූ සංචරණ සීමා වැනි දේ තවදුරටත් ලිහිල් කිරීම "ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්" බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මතයයි. රටේ ආර්ථිකය ඉතා දුර්වල තත්ත්වයකට පත්ව ඇති මෙම අවස්ථාවේ එය නැවත එසවීමට අවශ්‍ය පියවර ඉතා ඉක්මණින් ගත යුතු බව පිළිගන්නා නමුත් අනිසි ප්‍රතිඵල මගින් රෝග ව්‍යාප්තිය හා මරණ සංඛ්‍යාව වැඩි වුවහොත් බලාපොරොත්තු වන ආර්ථික වර්ධනය සිදු නොවන බව ඔවුන් අවධාරණය කරයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ, දැනට පවතින තත්ත්වය ගැන නැවත සමාලෝචනයක් කර රට සෞඛ්‍යමය හා සංචරණ සීමා සංශෝධන ක්‍රියාත්මක කරන ලෙසය. පුරවැසියන්ගේ ආදායම් මාර්ග රැකදීම ඉතා වැදගත් වන බව පිළිගන්නා නමුත් ඔවුන් ජීවත් කරවීම ඊට වඩා වැදගත් වන බව පවසන එම සංගමය මළගිය අයකුට වඩා පණ ඇති රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේ හැකියාව වැඩි බව ද සිහිපත් කර තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න,
දැන් රෝගය ඉතාමත්ව සීඝ්‍රයෙන් වැඩිවෙන ආකාරයක් අපි දකිනවා. ප්‍රභේද දෙකක් මෙතන යන්නේ. එතකොට මේ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත්ම තද බෝවෙන ගතිය නිසා අපි හිතනවා මේක ඉතාමත්ම වේගයෙන් මේ රෝගය පැතිරෙනවා කියලා. අපි කියන්න ඕනේ මේ බස්නාහිර පළාතේ රෝගීන් ඉතාමත්ම සුලබව ඉන්නවා. අපි කරන සීමීත පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය මත තමයි අපිට මේ රෝග මේ වගේ තියෙන්නේ. අපි දැනුම්වත් වෙන්න ඕනේ අපිට මෙච්චර වගේ පේනවා නම් අපේ සමාජයේ ඒ වගේ රෝගීන් 05 ගුණයක් විතර ඉන්නවා. මේ එන්නත්කරණයට හැමෝම යොමුවීම අත්‍යවශ්‍යයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, දැනට පවතින තත්ත්වය යටතේ අපිට ඔක්සිජන්වල හිඟයක් නොවෙයි තියෙන්නේ. අපිට අවශ්‍ය කරන ඉල්ලුමට සරිලන පරිදි මේවා බෙදාහරිනකොට සමහර වෙලාවට සමහර පළාත්වල සමහර මධ්‍යස්ථානවල අනපේක්ෂිත රෝගීන් සංඛ්‍යාවක් ඇතුළු වෙනකොට ඒවා නැවක රීඩිස්ට්‍රිබියුශන් කරලා අපිට එහාට මෙහාට කරන්න අපිට පැය කිහිපයක් ගතවෙන අවස්ථා සිද්ධ වෙනවා. අපිට අවශ්‍ය වන්නේ මේ ඔක්සිජන් වැඩි කරන්න යනවට වඩා අඩු රෝගීන් සංඛ්‍යාවක් ලබා ගන්නවා විනා වැඩියෙන් ඔක්සිජන් සපයන්න උත්සහ කිරීම ප්‍රඥා ගෝචර වැඩක් නෙවෙයි.