උද්ඝෝෂණය වළක්වන්නැයි, කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

UGCය ඉදිරිපිට උද්ඝෝෂණය වළක්වන්නැයි, පොලීසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

by Staff writer 02-08-2021 | 3:41 PM

COLOMBO (News1st) :  අද (02) පස්වරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වීමට සැලසුම් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීම වළක්වන ලෙස කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ප්‍රතික්ෂේප කළේ ය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ උද්ඝෝෂණ ව්‍යාපාරයට සහභාගී වන යමෙකු විසින් උල්ළංඝණය කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ බලය පොලීසිය සතු බවයි. කොවිඩ් - 19 වසංගත තත්ත්වය පාදක කරගනිමින් රටේ ජනතාවට අදහස් දැක්වීමට හා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට ඇති අයිතිය මර්දනය කිරීමට උත්සාහ දැරීමෙන් සිදුවනුයේ රට මෙන්ම රජයත් අපහසුතාවට පත්විම පමණක් වන්නේ යැයි, මහේස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දුන්නේ ය. කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතාගේ මූලිකත්වයෙන් යුත් ජනතාවාදී බුද්ධි මණ්ඩපය විසින් මෙම විරෝධතාව සංවිධාන කර ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේ ය.