30 වැඩි අයට එන්නත්කරණය නිමා වෙනවාත් එක්කම අවුරුදු 18 හා 30 කාණ්ඩයේ අයට එන්නත් දීම ආරම්භ කරනවා - චන්න ජයසුමන

by Staff writer 02-08-2021 | 10:38 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක මධ්‍යස්ථාන 20කදී ඊයේ දිනය තුළ පුද්ගලයින් 69,266 දෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා දී තිබේ.

අදත් නම් කළ රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා යුද හමුදාව මගින් පවත්වන මධ්‍යස්ථානවලදී ඇස්ට්‍රාසෙනිකා ලබාදීම සිදුවිය. යුද හමුදාව ඊයේ(01) සිට පැය 24 පුරා ක්‍රියාත්මක මෙරට පළමු එන්නත්කරණ මධ්‍යස්ථානය කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී ආරම්භ කළ අතර අදත් දවස පුරා විශාල පිරිසක් එන්නත ලබාගෙන තිබේ. ඊයේ උදෑසන 6.30 සිට අද අලුයම 5.00 දක්වා කාලය තුළ විහාරමහා දේවි උද්‍යානයේදී පමණක් පුද්ගලයින් 19,075 දෙනෙකුට‍ එන්නත ලබාදී ඇත. දියත උයන... මේ අතර ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අද සිට බත්තරමුල්ල දියත උද්‍යානයේ එන්නත්කරණ මධ්‍යස්ථානයත් පැය 24 පුරා විවෘතව තැබෙන බව යුද හමුදාව පවසයි. යුද හමුදා නිවාරණ හා මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය කර්නල් සවීන් සේමගේ මහතා,
ස්ථාන 7 ක ඊයේ එන්නත් ලබා දුන්නා අද දිනයේ අපි අලුතින් එකතු කළා දියත උයන අපි සඳුදා, අඟහරුවාදා, බදාදා දිනවල දියත උයනේ එන්නත් කිරීමේ කටයුතු සිදු කරනවා ඇස්ට්‍රාසෙනකා දෙවන මාත්‍රාව අපි අද උදෑසන 6.30 වනවිට ආරම්භ කළා
යුද හමුදා රෝහල නාරාහේන්පිට.. නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී ද අද ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු සාර්ථකව සිදු කෙරුණි. වේරහැර.. වේරහැර පළමුවන වෛද්‍ය බලකා කඳවුරේදීත් විශාල පිරිසක් අද දිනයේ එන්නත ලබා ගත්තේ ය. පනාගොඩ.. පනාගොඩ පිහිටි යුද හමුදා බෝධිරාජාරාමයේදී අද දෙවන දිනටත් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු සිදු කෙරුණි. ගම්පහ.. මේ අතර සෞඛ්‍ය කාර්යය මණ්ඩල ද ස්ථාන කිහිපයක ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දීමේ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරමින් සිටී. ගම්පහ ජාත්‍යන්තර සාමවිහාර පරිශ්‍රයේ ගම්පහ දිස්ත්‍රික් රෝහල මගින් මෙහෙවන එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි. රතුපස්වල බෝධිරාජ විද්‍යාල පරිශ්‍රයේ තවත් එන්නත්කරණ මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කළේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙනි. කළුතර.. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන පරිශ්‍රයේදීත් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමේ කටයුතු සිදු කෙරේ. පානදුර.. පානදුර, හිරණ ප්‍රාථමික විද්‍යාලයේදී එන්නත ලබා දුන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙනි. කෑගල්ල.. මේ අතර කෑගල්ල බාලිකා විද්‍යාලයේදී අද ගුරුවරුන්ට ලබා දුන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාවයි. මේ අතර අද අලුයම කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට රැගෙන එනු ලැබුවේ ය. එම එන්තත් තැන්පත් කෙරුණේ, නාරාහේන්පිට පිහිටි රුධිර පාරවිලයන මධ්‍යස්ථානය තුළයි. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, එන්නත් මාත්‍රා ලක්ෂකට වැඩි ප්‍රමාණයක් එම තොගයට ඇතුළත් වූ බවයි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,
අතිගුරු ජනාධිපතිතුමා අපට දීපු අභියෝගය තමයි අ⁣ගෝස්තු මාසේ අවසන් වෙනකොට ලක්ෂ 115 ට අවුරුදු 30 වැඩි සියලුදෙනාට එන්නත්කරණය නිමා කරන්න කියලා නමුත් අපේ රටේ සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂක අංශවල සහයෝගයෙන් ඒ දීපු ඉලක්කය අදාළ දිනයටත් පෙර නිමා කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා තමයි අපට පේන්න තියෙන්නේ. මේ අවුරුදු 30 වැඩි උදවිය එන්නත්කරණය නිමා වෙනවාත් එක්කම අපි අවුරුදු 18 හා 30 කාණ්ඩයේ අයට එන්නත් ලබාදීම ආරම්භ කරනවා ඒ සඳහා අවශ්‍ය සයිනෝෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ 40 ක් ලබන සතිය තුළ අපේ රටට ලැබන්න නියමිතය.
මේ අතර සැප්තැම්බර් ඉලක්කයට පෙර ශ්‍රී ලංකාව සිය ජනගහනයෙන් 10% ක් පූර්ණ ලෙස එන්නත්කරණය කිරීමට කටයුතු කරමින් සිටින බව දැකීම සතුටට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩෙනම් මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, ඔහු කියා සිටියේ වෛරසය මැඩපැවැත්වීම සඳහා ප්‍රදර්ශනය කර ඇති මහජන සෞඛ්‍ය හා සමාජීය පියවර පිළිබඳව ශ්‍රී ලංකා රජයේ හා ජනතාවගේ උත්සාහයට ස්තූතිවන්ත වන බවය.