ඩෙල්ටා ශ්‍රී ලංකාවටත් විශාල බලපෑමක් කරයි ද?

ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාවට මෙන්, ශ්‍රී ලංකාවටත් විශාල බලපෑමක් කරයි ද? - මහාචාර්ය මලික් පීරිස් පැහැදිලි කරයි

by Staff writer 31-07-2021 | 9:21 PM

COLOMBO (News 1st) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනය එක්කර ඇති දත්තවලට අනුව ඩෙල්ටා ප්‍රභේදය දිස්ත්‍රික්ක රැසකින් හඳුනා ගෙන තිබේ.

කොළඹ, මාතර, ගාල්ල, කළුතර, ගම්පහ, මාතලේ, වව්නියාව, ත්‍රීකුණාමලය, මුලතිව්, කිලිනොච්චි, යාපනය එම දිස්ත්‍රික්කවලට අයත්. මේ අතර මාරාන්තික ප්‍රභේද මතුවීමට පෙර කොරෝනා මර්දනය කිරීමට පියවර ගන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව රටවලින් ඉල්ලීමක් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩෙල්ටා ප්‍රභේදය වඩාත් දරුණු වීමට පෙර එය මර්දනයට ඉක්මන් පියවර ගන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව රටවලට අනතුරු අඟවා ඇති බවය. ඉන්දියාවේන් මුල්වරට හඳුනාගත් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් සහ ප්‍රදේශ 132 ක වාර්තා වී ඇතැයි එම සංවිධානය පැවසීය. මේ අතර හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යාව පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතයේ දරුණුතම ව්‍යාප්තිය ඉදිරි මාස කිහිපය තුළ සිදුවිය හැකි බවය. මහාචාර්ය මලික් පීරිස් මහතා සායනික හා මහජන වසංගත විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන අතර ඉන්ෆ්ලුවෙන්සා, කොරෝන වෛරස් වැනි රෝග පිළිඉඳව අධ්‍යයනයහි විශේෂ උනන්දුවක් දක්වන අයෙකි. 2003 දී සාර්ස් රෝගය, එහි රෝග නිර්ණය හා රෝග කාරකය සඳහා නව කොරෝනා වෛරසය හේතු වූ බව සොයා ගැනීමේදී මහාචාර්ය පීරිස් මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.. හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස් මහතා,
ගෝලීය වශයෙන් සහ දකුණු ආසියානු කලාපයේ ද මූලික වශයෙන් කොවිඩ් 19 වසංගත ව්‍යාප්තියේ පහත වැටීමක් පැවතුණද, දකුණු ආසියානු කලාපය ඇතුළුව ගෝලීය වශයෙන් රෝගීන් නැවත වැඩිවීමක් දක්නට තිබෙනවා. මෙයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ නව ඩෙල්ටා ප්‍රභේදයයි.මෙම ප්‍රභේදය නිසා ඉන්දියාවේ විශාල විනාශයක් සිදු වූ අතර ඉදිරි සති කිහිපය තුළ එය ලංකාවට ද විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි මම අවධාරණය කරන්න ඕනේ. ඉදිරි මාස කිහිපය තුළ දරුණුතම කොවිඩ් වසංගතයට ශ්‍රී ලංකාව මුහුණ දීමට සිදු වන බවට අනතුරු ඇඟවීමක් නොකළහොත් මහජන සෞඛ්‍ය වෘත්තිකයෙකු වශයෙන් මම මගේ යුතුකම පැහැර හැරීමක් වෙයි. ඉතා හොඳින් සිදු කෙරෙන එන්නත් කරණය ඉදිරියට ගෙන යාම ගැන රජයට සහ මහාචාර්ය ජයසුමන මහතාට මම සුභ පැතුම් එක් කරනවා. කෙසේ වෙතත්, ඔබ දන්නා පරිදි, සැලකිය යුතු බලපෑමක් ඇති කිරීම සඳහා එන්නත් මාත්‍රාවන් දෙකක් ලබාගැනීම අවශ්‍ය වනවා. නමුත් ඉදිරි මාස කිහිපය තුළ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට එම මාත්‍රා 02ක ලබාගැනීම ප්‍රමාණවත් වන්නේ නැහැ . ඒ පිලිබදව ජනතවාට හොදින් උපදෙස් ලබාදී ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
මහාචාර්ය මලික් පීරිස් මහතා මේ අදහස් පළ කළේ, කොවිඩ් 19 වසංගතයේ බලපෑම සහ ව්‍යාප්තිය අවම කරගැනීම පිළිබඳව ග්‍රන්ථයක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.