ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 728,460 ක් දිවයිනට..

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460ක් දිවයිනට රැගෙන එයි..

by Staff writer 31-07-2021 | 4:51 PM

COLOMBO (News 1st) – ජපානය කොවැක්ස් වැඩසටහන හරහා ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460 ක් දිවයිනට ලැබී තිබේ.

මෙම එන්නත් මේ වනවිට පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන සිටින පිරිසට ලබා දීමට නියමිත අතර ඉතිරි ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරන වැඩසටහනට යොමු කෙරෙනු ඇති. මේ අතර ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයින්ට හෙට(01) කොළඹ, විහාරමහා දේවි උද්‍යානයේදීත්, අනිද්දා(02) බත්තරමුල්ල, දියත උයන සහ කොළඹ, විහාර මහා දේවී උද්‍යානයේදීත් දෙවන මාත්‍රාව ලබා ගැනීමට හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ අතර අඛණ්ඩව 02 වැනි දිනටත් ඊයේ පන් ලක්ෂයකට අධික පිරිසකට කොරෝනා මර්දන එන්නත ලබා දී තිබේ . රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ ඊයේ(30) දිනය තුළ පන් ලක්ෂ දහතුන් දහස් අටසිය විසි දෙනෙකුට කොරෝනා මර්දන එන්නත ලබා දී ඇති බවය.