නව කොවිඩ් ප්‍රභේදයක් ගැන ඉන්දියාව අනතුරු අඟවයි

නව කොවිඩ් ප්‍රභේදයක් ගැන ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක්..

by Staff writer 30-07-2021 | 9:44 PM

News 1st - ඩෙල්ටා ප්ලස් ලෙස හැඳින්වෙන නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම නව ප්‍රභේදය ඉන්දියාවෙන් පළමුව හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණු ලෙස පැතිරයා හැකි අතර සංකූලතා ද ඉහළ මට්ටමක පවතින බවය. චීනයේ, වූහාන් නගරයෙන් ආරම්භ වී පසුව නැන්ජියෑන් නගරයේ පැතිර ගිය කොවිඩ් වසංගතය මේ වනවිට බීජිං අගනුවර සහ තවත් පළාත් 05 කට ව්‍යාප්ත වී තිබේ. චීන බලධාරීන් පවසන්නේ, වූහාන් වසංගත තත්ත්වයට පසු වාර්තාවන දරුණුතම වෛරස් ව්‍යාප්තිය මෙය බවය. පසුගිය ජූලි 20 වැනි දා නැන්ජියෑන් ගුවන්තොටුපොළේදී පළමුව ආසාදිතයින් හඳුනා ගැනීමෙන් පසු මේ වනවිට 200කට අධික ආසාදිතයින් පිරිසක් හඳුනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය. මේ තත්ත්වය හමුවේ නැන්ජියෑන්, ගුවන්තොටුපොළේදී සියලු ගුවන් ගමන් අගෝස්තු 11වැනි දා දක්වා අත්හිටුවා ඇත. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය පැපොල රෝගයේ ව්‍යාප්තියට සමාන බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත අද වාර්තා කළේ ය. ඒ, අමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අභ්‍යන්තර ලේඛනයක් උපුටා දක්වමිනි. එම වාර්තාවේ දැක්වෙන්නේ, ඩෙල්ටා ප්‍රභේදය එන්නත්කරණය පවා අභිබවා යාමට තරම් ප්‍රබල බවයි. මේ අතර කොවිඩ් මර්දන එන්නත් ලබා නොගත් පුද්ගලයින් එන්නත ගැනීමට දිරිගැන්වීම සඳහා අමෙරිකානු ඩොලර් 100 ක් ලබාදීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එන්නත ලබාගෙන නොමැති සියලු රාජ්‍ය සේවකයින්ට සතිපතා හෝ සති දෙකකට වරක් පී.සී.ආර්. පරීක්ෂණක් සිදු කිරීම ද අනිවාර්ය කර ඇති බවය.