මාත්‍රා දෙකම ලබා ගැනීම අත්‍යවශ්‍යයි

තනි මාත්‍රාවකින් රැකවරණයක් ලැබෙන්නේ නැහැ: මාත්‍රා දෙකම ලබා ගැනීම අත්‍යවශ්‍යයි - ආචාර්ය චන්දිම ජීවන්දර

by Staff writer 30-07-2021 | 9:39 PM

COLOMBO (News 1st) - කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් එම තත්ත්වය බරපතල ලෙස සැලකිල්ලටගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ(29) දිනයේ මරණ 66ක් වාර්තා වී තිබූ අතර හමුවී තිබූ අසාදිතයින් ගණන 2,370කි. පසුගිය සති කිහිපයේම ආසාදිතයින් වාර්තා වූයේ 2000 නොයික්ම වූ අගයක් ලෙසය. කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,
විශේෂඥ වෛද්‍යවරු දෛනිකව කියනවා රෝහල් පද්ධතිය දැන් කොවිඩ් රෝගීන්ගෙන් පිරි ඉතිරි යනවා සංකූලතා තියන අයගෙන් පිරී ඉතිරි යනවා ඉඩකඩවල සිමිත බවක් තියනවා රෝහල්වල ඒ නිසා නැවත අවදානම තියනවා. අවදානම කොයිම වෙලාවකවත් පහවෙලා නැහැ. දිස්ත්‍රික්ක ගණනාවක මේ ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගෙන තියනවා මේ සීඝ්‍ර පැතිරීම අනුව අපට අනුමාන කරන්න පුළුවන් ලංකාවෙත් දැන් ඩෙල්ටා ප්‍රභේදය වැඩිවීගෙන යනවාද කියන බව අනුමාන කරන්න පුළුවන් එන්නත් මාත්‍රා දෙක ලබාගත් අයත් රෝගීවෙන බව වර්තා වෙනවා විශේෂයෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එන්නත් දෙක ලබාගත්ත අයත් යම්කිසි රෝගී තත්ත්වකට පත්වෙලා තියනවා. ඒ නිසා මේක වළක්වා ගැනීම තමයි සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිපඳින්න

එන්නත්කරණ වැඩපිළිවෙළේ ප්‍රගතිය කෙසේ ද?

මෙරට තුළ දිනකදී සිදු කළ වැඩිම කොවිඩ් මර්දන එන්නත්කරණය ඊයේ සිදු කර ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. ඊයේ ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව, 515,830 කි. මේ අතර කොවිෂීල්ඩ් හෙවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට ලක්ෂ 05කට වැඩි පිරිසකට තවමත් නොහැකි වී තිබේ. හෙට ජපානයෙන් එන්නත් තොගයක් ලැබීමට නියමිත අතර එය මේ පිරිසට ලබාදෙනු ඇති. මේ අතර කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ප්‍රමාදවීමෙන් එහි ප්‍රතිඵලය කුමක් වේදැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පර්යේෂණයක් සිදු කර ඇත. ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර,
අපි දැක්කා එක මාත්‍රාවක් මගින් සියයට 93යි දශම 4ක් ප්‍රතිදේහ නිර්මාණය වුණා සියයට 97.1 කටම අපි කියනවා නියුටලයිසින් ඇන්ටි බොඩීස් තිබ්බා ඒ කියන්නේ කාර්යක්ෂම ප්‍රතිදේහ තිබ්බා අවාසනාවකට දෙවන මාත්‍රාව යම්කිසි ප්‍රමාණයකට ලක්ෂ 5කට පමණ ප්‍රමාණයකට සති 16 වෙනකොටත් දෙවන මාත්‍රාවක් ලැබිලා තිබ්බේ නැහැ. ඉතිං අපට ඕන වුණා ඇත්තටම ශ්‍රී ලාංකිකයින්ගේ කොහොමද මේ තත්ත්වය තියෙන්නේ කියලා බලන්න පරීක්ෂණයක් මගින් තහවුරු කරන්න ප්‍රතිදේහ ඒ ගොල්ලන්ගේ රැඳිලා තිබ්බා සියයට 93.7 කගේ ගැටලුවක් නැතුව තරුණ කට්ටියගේ ඉතාමත් හොඳින් රැඳිලා තිබ්බා හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි අපි අර මුල් පරීක්ෂණයේදී දවස් 28 දි දැක්ක කාර්යක්ෂම ප්‍රතිදේහ සියයට 97 ප්‍රමාණය සියයට විසි ගණකින් 26 කින් විතර අඩුවෙලා තියනවා. එතකොට මේ කොට්ඨාසයේ අපි මතක සෛලවල හැකියාව හොයලා බැලුවා ඒ වගේ ඉතා හොඳ කාර්යක්ෂමතාවයක් තියනවා. ඒකෙන් අදහස් වන්නේ ප්‍රමාද වෙලා හම්බවුණාට තව එන්නතක් ලබා ගැනීම මගින් මේ මතක ශක්තිය ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන හැකියාව ශරීරය තුළ තියනවා කියන පදනම අපි තේරුම් අරගෙන තියෙනවා
ප්‍රශ්ණය,
කොවිෂිල්ඩ් එන්නත ගත්ත පුද්ගලයින් මේ වනවිට අවදානම් මට්ටමක ඉන්නවා කිව්වොත් ඒක සාධාරණයි ද ?
පිළිතුර,
විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදය ගත්තොත් තනි මාත්‍රාවකින් ලැබෙන්නේ සියයට 33 ක විතර ආරක්ෂාවක්. තනි මාත්‍රාවක් තුළින් නම් කොහෙත්ම රැකවරණයක් ලැබෙන්නේ නැහැ විශේෂයෙන්ම මාත්‍රා දෙකම ලබා ගැනීම ඉතාමත් අත්‍යාවශ්‍යයි.