ගිනිගත් නැවෙන් මුහුදට එක් වූයේ මොනවාද?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට එක් වූයේ මොනවාද?

by Staff writer 30-07-2021 | 10:50 PM

COLOMBO (News 1st) - ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට විෂ රසායනික ද්‍රව්‍ය හා ඉන්ධන මුසුවී ඇතැයි අද අධිකරණයේදී අණාවරණ විය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ, ජල සාම්පල ලබාගෙන රජයේ රස පරීක්ෂකවරයා කළ පරීක්ෂණ අනුව මෙය අනාවරණ වී ඇති බවය. එම ද්‍රව්‍ය මහ මුහුදට එක්වීමෙන් මේ වනවිට කැස්බෑවන් 417 දෙනෙකු, ඩොල්ෆින් සත්ත්වයින් 48 දෙනෙකු සහ තල්මසුන් 8 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය. ඔහු කියා සිටියේ, ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන පිළිබඳව නැව් සමාගමේ දේශීය නියෝජිත ආයතනය, එහි නිලධාරීන් හා කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් කිසිදු වගකීමකින් තොරව ප්‍රකාශ සිදු කරන බවය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට විශාල හානියක් වී ඇති බැවින් එකී ප්‍රකාශ, තම දෙපාර්තමේන්තුව දැඩිව හෙළා දකින බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී පැවසුවේ ය. නඩුව ලබන 18 වැනි දා යළි කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය එහි දී නියෝග කළා ය.