රාජ්‍ය සේවකයින් 2 වැනිදා සිට සුපුරුදු රාජකාරියේ

සීමිත කාර්ය මණ්ඩල සහ නිවසේ සිට රාජකාරී කිරීමට අදාළ චක්‍රලේඛ අවලංගු කරන්නැයි, දැනුම්දීමක්

by Sagarika Chathumali 30-07-2021 | 3:15 PM

COLOMBO (News1st) :  කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව අගෝස්තු 2 වැනි සඳුදා සිට සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනපති ලේකම්වරයා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට මෙන් ම රාජ්‍ය සේවකයන් බහුතරයක් ද මේ වන විට එන්නත්කරණය සිදුකර ඇති බැවින් රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇති බවයි. කොවිඩ් රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.