වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

වෛද්‍ය ක්ෂේත්‍රය කොච්චර ශක්තිමත් කළත් වැඩක් නෑ, තීන්දු ගන්නේ දේශපාලන මට්ටමින් නම්.. - රාජිත සේනාරත්න

by Staff writer 29-07-2021 | 9:09 PM

COLOMBO (News 1st) - පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනතුරු ඇඟවීමක් කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා,

දැනට තියෙන රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 10 ක් ඩෙල්ටා රෝගින්. අද දවස වෙනකොට දත්ත ගත්තාහම පෙන්නුම් කරන කරුණු කාරණා ඉතාමත්ම භයානකයි. දැන් ජාතික රෝහලේ සියලුම ඇඳන් පිරිලා තියෙන්නේ. ඒ එක්කම අපිට පේනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ එන්නත් දෙකම විදපු අය පොසිටිව් වෙන රේට් එක වැඩි වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් තමයි අපි ඉන්දියාව තුළත් දැක්කේ. ඉන්දියාවේත් මාස 04 ක් යනකම් බොහෝම නිශ්චල ගමනක් ගියා. එක පාරටම රෝගීන් සංඛ්‍යාව දෙගුණ තෙගුණ වෙන්න පටන් ගත්තා අපි මේ වෙලාවේ විශ්වාස කරනවා ඒ තත්ත්වයට සූදානම් විය යුතුයි. මේ තියෙන ප්‍රභේදයන් එක්ක ඉදිරියට ගියොත් එහෙම රටේ දේශපාලන අධිකාරිය මොනවා කිව්වත්, රටේ ජනතාව මොනවා කිව්වත් මේ රට නැවතත් ඔටෝමැටිකලි ලොක්ඩවුන් වෙන තත්ත්වයට එයි.
මේ පිළිබඳව හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සිය අදහස් පළ කළේය.
වෛද්‍ය ක්ෂේත්‍රය කොච්චර ශක්තිමත් කළත් වැඩක් නෑ මේ තීන්දු ගන්නේ දේශපාලන මට්ටමින් නම්. ජාතික රෝහලේ රෝගීන් 290 ඊයේ වෙන කොට 345 දක්වා ගියා. අයි.සී.යූ. පිරිලා. ඉතාමත් නරක තත්ත්වයකට පත් වෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කිව්ව මට්ටමට දැන් රට පත් වෙමින් යනවා. ඇත්ත සංඛ්‍යාව බැලුවොත් කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව දැන් රජය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන වගේ තුන් ගුණයක් පස් ගුණයක් අතර ප්‍රමාණයක් අද රෝගීන් ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ අවසාන නියෝගය 4 වැනි රැල්ල පැමිණෙමින් තිබෙනවා නෙවෙයි දැන් එක ලංකාවේ තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයත් පවතින තත්ත්වය පිළිබඳව අනතුරු අඟවා තිබේ. නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
පහුගිය කාලසීමාව තුළ රෝගීන්ගේ සංඛ්‍යාව ව්‍යාප්තවීම එක්දහස් හාරසිය ගණන් වාගේ තිබිච්ච එක මේ වෙනකොට ඊයේ දිනයේ 1,900 දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ වැඩිවීම අපි සුළුවෙන් තැකිය හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා අපි හොඳට සියලු දෙනාම ඉතාමත්ම සැලකිල්ලෙන් මේ තත්ත්වය මේක තවදුරටත් හෙට දෙදාහ දක්වා වැඩි වුණොත් ඊළඟ දවසේ 2500 දක්වා වැඩි වුණොත් නැවතත් අපි අර මැයි මාසයේ අපි මුහුණ දුන්නු බරපතළ තත්ත්වයට අපි නැවත මුහුණ දෙන්න ඉඩ තියෙනවා.
ජීවිත අවදානම අවම කර ගැනීමට වහා එන්නත් ලබා ගන්න, සෞඛ්‍ය අංශ දිගින් දිගටම ඉල්ලයි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,
එන්නත ලබා ගත්තේ නැති උදවිය තමයි දැනට රෝහල්ගත වෙන අයගෙන් සියයට 75ක් රෝහල්ගත වෙන්නෙ. සියයට 03ක පමණ ප්‍රමාණයක් තමයි එන්නත් මාත්‍රා දෙකම අරගෙන රෝහල්ගත වෙන්නේ. අපි කෙතරම් අවස්ථාව ලබා දුන්නත් එන්නත ලබා ගන්න පහසුකම් ලබා දුන්නත් යම් කුඩා කණ්ඩායමක් සියයට 1 කට අඩු සංඛ්‍යාවක් අපි නිරීක්ෂණය කරනවා එන්නත ලබා ගන්නේ නෑ කියලා. ඔබ එන්නත ලබා නොගැනීමෙන් නුදුරේදීම රෝගියෙකු බවට පත්විමේ බරපතල අවදානමක් තියෙනවා. අප්‍රමාදීව ඔබට හිමි එන්නත ලබා ගන්න. කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවට මොකද වෙන්නේ ?

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,
මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පන්ලක්ෂ හතලිස් දහසකට ආසන්න ප්‍රමාණයක් බලා සිටිනවා ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගෙන දෙවැනි මාත්‍රාව ලබා ගන්න. ඔවුන්ගේ එන්නත් ප්‍රමාණය ලබාදීම ඇතුළුව අපිට 740,000 ක ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි ජපානයේ සිට. එම එන්නත් ලැබී දින 05 ක් ඇතුළත ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාටම එන්නත් ලබා දෙන්න අපි සැලසුම් කරලා තියෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මොකද කියන්නේ ?

ඉදිරි සති කිහිපය තුළ ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 200 ඉක්මවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානය පෙන්වා දෙන්නේ, පසුගිය ජූලි 19 වැනි දා සිට ජූලි 25 වැනි දා දක්වා කාල සීමාව තුළ ගෝලීය කොවිඩ් මරණ සියයට 21 කින් ඉහළ ගොස් ඇති බවයි. අමෙරිකා එක්සත් ජනපදය සහ ගිනිකොණදිග ආසියානු කලාපවල කොවිඩ් මරණවල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.