by Staff writer 29-07-2021 | 9:18 PM
COLOMBO (News 1st) - හෙළි නොකළ වත්කම් හෙළි කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අද(29) පස්වරුවේ අවසන් කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ, ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත ඉදිරිපත් කරන බවය.
අගෝස්තු මස 02 වැනි දා දහවල් 12.00 ට පෙර තම අධිකරණය හමුවේ ඒ සම්බන්ධ ලිඛිත විරෝධතා ගොනු කරන ලෙස ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල සියලු පාර්ශවවලට නියෝග කර තිබේ.
යෝජිත මුදල් සංශෝධන පනත් කෙටුම්පත ගෙන ඒම මගින් රජය අපේක්ෂා කර ඇත්තේ, බදු ගෙවීම් පැහැර හැර ඇති ධනපතින් සහ බලවතුන්ට බදු දැලක් එලීමක් මිස අන් කරුණක් නොවන්නේ යැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේ ය.
ඔහු කියා සිටියේ, සඟවා ඇති මුදල් අනාවරණය කිරීමට ඉඩ ප්‍රස්ථා ලබාදෙන එම කෙටුම්පත මගින් දේශීය ආදායම් බදු පනත ඇතුළු පනත් දෙකකින් පනවා ඇති රෙගුලාසි කිහිපයක් ලිහිල් කර ඇතත්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත වැනි සුවිශේෂී පනත්වලට ඉන් කිසිදු හානියක් නොවන බවය.
මේ අතර හෙළි නොකළ වත්කම් හෙළි කිරීමේ මුදල් පනත් කොටුම්පත සංශෝධනය කිරීමට නියමිත වගන්ති ඇතුළත් ලේඛනයක් ද නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ ය.