පංච පුද්ගල විශේෂඥ කමිටුවක්..

මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා විශ්ලේෂණයට පංච පුද්ගල විශේෂඥ කමිටුවක්

by Staff writer 29-07-2021 | 10:13 AM

COLOMBO (News 1st) - මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලැබුණු යෝජනා විශ්ලේෂණය කිරීම සඳහා පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කළ බව එම කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේය.

එහි සභාපතිත්වය දරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලි‍යනගේ මහතායි. කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය අනුර කරුණාතිලක, නීතිඥ සුරේන් ප්‍රනාන්දු, මහාචාර්ය පී. බාලසුන්දරම් පිල්ලෙයි සහ බාලචන්ද්‍රන් ගෞතමන් යන මහත්වරුන් පත් කර තිබේ. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම විශේෂඥ කමිටුව පත් කිරීමට තීරණය ක‍‍ළේය. මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව පිළිගත් දේශපාලන පක්ෂ 21කින් සිවිල් සංවිධාන 155කින් සහ මහජනතාවගෙන් කාරක සභාව සඳහා යෝජනා ඉදිරිපත් වී තිබේ.