එන්නත ලබා නොගත් අයට සම්බාධක පනවයිද?

දෙසැම්බර් අවසන් වනවිට මෙරට ජනගහනයෙන් මිලියන 15 කට කොරෝනා එන්නත ලබා දීමට සැලසුම්..

by Staff writer 29-07-2021 | 6:44 PM

COLOMBO (News 1st) – අගෝස්තු 31 වැනිදාට පෙර පළමු අදියර යටතේ අවුරුදු 30ට වැඩි ජනගහයෙන් මිලියන 11.5කට කොරෝනා මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, දෙවන අදියර යටතේ අවුරුදු 18ත් 30 ත් අතර ජනගහනයට මෙන්ම අවුරුදු 12 ත් 18 ත් අතර ළමා ජනගහනය ද මිලියන 4 කට එන්නත ලබා දීමට නියමිතය බවය. ලලිත් විරතුංග මහතා මෙම කරුණු අනාවරණ කළේ , ජනාධිපතිවරයා සහ ජනාධිපති කාර්යාලය පිළිබඳ තොරතුරු දැනුම් දෙන ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලලිත් වීරතුංග මහතා පැවසුවේ දෙසැම්බර් 31 වැනිදා වනවිට මෙරට ජනගහනයෙන් මිලියන 15 ක් එන්නත්කරණයට සැලසුම් කර ඇති බවය. කොරෝනා මර්දන එන්නත් මෙතෙක් ලබා නොගත් පුද්ගලයින් පිළිබද සංගනනයක් ග්‍රාම නිලධාරීවරුන් හරහා සිදු කිරීමට අපෙක්ෂා කරන බව ද ඔහු පැවසුවේ ය. මියගොස් ඇති බහුතරය එන්නත් ලබා නොගත් හෝ එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් පුද්ගලයින් බව ද ලලිත් වීරතුංග මහතා කියා සිටියේ ය. කොරෝනා එන්නත්කරණය අනිවාර්ය කරනවාද? නැද්ද? යන්න පිළිබඳවත් එන්නත ලබා නොගත් අයට සම්බාධක පනවනවාද? නැද්ද යන්න පිළිබඳවත් හෙට(30) දිනයේ ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානයට ගනු ඇති බව ද ලලිත් විරතුංග මහතා මෙහිදී සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හා නිෂ්පාදනය මෙන්ම පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව නිසා සයිනෝෆාම් එන්නත මෙරට එන්නත්කරණයට වැඩි වශයෙන් යොදාගෙන ඇති බවය. ගිවිසුම්ගත වීමට අනුව සයිනෝෆාම් තවත් එන්නත් මාත්‍රා මිලියන 8 ක් ඉදිරියේදී ලැබීමට නියමිත බව ද ඔහු පැවසුවේ ය. ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, යම් අයෙකුට තමාට අවශ්‍ය කොරෝනා මර්දන එන්නත තෝරාගෙන ලබා ගැනීමේ ප්‍රතිපත්තිය මෙරට තුළ නොමැති බවය.