දැන් ජනාධිපති අපේක්ෂකයෝ හුඟක් ඉන්නවානේ

"මේ රටේ කිසිම ආණ්ඩුවකට පුළුවන්කමක් වෙලා නැහැ ජාතික එකඟතාවයන් ඇති කර ගන්න" - හිටපු ජනපති

by Staff writer 28-07-2021 | 10:10 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ වෘත්තීය සමිති බියුරෝව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(28) ආරම්භ විය.

නව බියුරෝවේ සභාපතිවරයා ලෙස පත් කර ගැණුනේ, මෛත්‍රීපාල සිරිසේන මහතායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මෙම අවස්ථාව සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සමග වෘත්තීය සමිති නායකයින් එක්ව සිටියහ. නිදහස් සේවක සංගමය ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති පක්ෂය සමග සම්බන්ධ කරමින් ක්‍රියාකිරීම වෘත්තීය සමිති බියුරෝව හරහා සිදු වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ, දිවංගත ආචාර්ය ඇන්. එම්. පෙරේරා මහතාගේ යෝජනාවක් අනුව මෙම බියුරෝව ආරම්භ කළ බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
මම දන්නා පරිදි අපේ රටේ කිසිම ආණ්ඩුවකින් රට සංවර්ධනයට සහ ආර්ථික සංවර්ධනය ගෙනයාමට දීර්ඝ කාලීන සැලසුම් හැදිලා නැහැ. හැම ආණ්ඩුවක්ම බලයට පත් උනහම ඊළඟ අවුරුදු 5 කින් ඡන්දයකට යනවා. ඒ වෙලාවට තුන් අවුරුදු පස් අවුරුදු සැලසුම් හැදිලා තියෙනවා. සංවර්ධනය උන රටවල් අවුරුදු 25ක 39ක, ඉදිරි අවුරුදු 50 බලලා ඒ විදිහේ සැලසුම් හදනවා. මේ රටේ කිසිම ආණ්ඩුවකට පුළුවන්කමක් වෙලා නැහැ ජාතික එකඟතාවයන් ඇති කරගන්න. ප්‍රතිපත්ති හා සැලසුම් කොතෙක් හැදුවත් ජාතික එකඟතාවයක් නැත්තං ඒ කිසි දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. ඉන්දියාව වගේ රටක් ආණ්ඩු වෙනස් වුණාට විශේෂයෙන්ම පත් කරලා තිබෙන කොමිෂන් සභා විශාල බලතල ප්‍රතිපත්ති සහ සැලසුම් සම්බන්ධයෙන් ආණ්ඩු වෙනස් වුණාට වෙනස් වෙන්නේ නැහැ. ජාතික එකඟතාවක් ඇති කර ගත්තේ නැත්නම්, හැමවෙලේම පවතින ආණ්ඩුවක් විසින් කරපු හොඳ දේවල් ඊළඟ ආණ්ඩුව කරන්නේ නැහැ ඒව අහක දානවා. අපි අතීතයට දොස් කියන්නෙ නැතුව අද තියන තැනින් රට ගොඩගන්න බලාපොරොත්තු ඇතුව අලුත් වැඩපිළිවෙළකට යෑමේ වැදගත්කමයි තියෙන්නෙ. පවතින රජයට සහයෝගය දෙනවා වගේම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට රටේ ශක්තිමත් කරනවා පක්ෂය.
ප්‍රශ්නය,
පසුගියදා ජනාධිපතිතුමා ඔබතුමාලාව හමුවුණා. මොනවද සාකච්ඡා වුණේ ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
අපි එහිදී රටේ පවතින තත්ත්වය වර්තමාන දේශපාලන තත්ත්වය වගේම ඒ වගේම දැනට තියන යම් යම් ප්‍රශ්න, පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට පෙර ඇතිකරගත් එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඒ කියන කරුණු අපි සාකච්ඡා කළා
ප්‍රශ්නය,
නිදහස් පක්ෂයේ සාමාජිකයින් විශාල පිරිසක් ඔබතුමා යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි කියලා. ඒ ගැන ඔබතුමාගේ අදහස කොහොම ද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
දැන් ජනාධිපති අපේක්ෂකයෝ හුඟක් ඉන්නවා නේ. ඒක නිසා අපි ඒ ගොල්ලන්ට තැනක් දෙන්න බලමු.