ගම්මන්පිලට එරෙහි නඩුවේ ඔස්ට්‍රේලියානුවන් 3ට සිතාසි

ගම්මන්පිලට එරෙහි නඩුව: ඔස්ට්‍රේලියා ජාතිකයින් තිදෙනෙකුට සිතාසි

by Staff writer 28-07-2021 | 4:54 PM

COLOMBO (News1st) :  අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා ලබන සැප්තැම්බර් 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඔස්ට්‍රේලියානු ජාතිකයින් තිදෙනකුට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිතාසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද නියෝග කළේ ය. ඒ ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 20 ක මුදලක් වංචා කිරීමේ චෝදනා යටතේ උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා පවරා තිබූ නඩුව කැඳ වූ අවස්ථාවේදී ය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ යුවාන් අබේවික්‍රම මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ  මහාධිකරණ විනිසුරුවරයා සැප්තැම්බර් 30 වැනිදා දක්වා නඩුවේ සාක්ෂි විභාගය කල් දැමීමට නියෝග කළේ ය.