කිසිම රෝගියෙක් ඩෙල්ටා රෝගියෙක් විදිහට හමුවන්නේ නෑ

"හමුවන රෝගීන්ගෙන් වැඩිම කොටසක් ඩෙල්ටා රෝගීන් හැටියට හමුවෙන්නේ බොහෝ වෙලාවට සනීප වෙලා ගෙදර ගියාටත් පස්සේ" - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

by Staff writer 27-07-2021 | 10:16 PM

COLOMBO (News 1st) - අප්‍රේල් මාසයෙන් පසුව කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමෙහි වැඩි වීමක් පෙනෙන්නට තිබුණි.

එහි ප්‍රතිඵලය වූයේ, මැයි මාසයේදී රටම සංචාරණ සීමාවලට යටත් වීමයි. මැයි මස 01 වැනි දා වනවිට වාර්තා වූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 106,488 කි. මැයි මස 31 වැනි දා වනවිට එය 181,003 ක් දක්වා ඉහළ ගියේ ය. ඒ අනුව, එම මාසය තුළ පමණක් වාර්තා වූ ආසාදිතයන් ගණන 74,515 කි. ජුනි මාසේ 01 වැනි දා වනවිට 187,186 දෙනෙක් කොවිඩ් අසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණි. ජුනි මාසය අවසන් වනවිට එය සටහන් වූයේ 253,596ක් ලෙසය. ඒ අනුව ජුනි මාසය තුළ පමණක් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 66,410 කි. ජූලි 01 වැනි දා කොවිඩ් ආසාදිතයන් ගණන සටහන් වූයේ 255,479 ක් ලෙසය. ජුලි මාසයේ ගෙවුණු දවස් 25 තුළ පමණක් අලුතින් ආසාදිතයන් 36,704 දෙනෙකු හඳුනාගෙන තිබේ. මේ අතර කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් තවදුරටත් සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවමින් සිටී. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
කිසිම රෝගියෙක් ඩෙල්ටා රෝගියෙක් විදිහට හමුවන්නෙ නෑ. පී.සී.ආර්. පොසිටිව් ලෙඩෙක් හැටියටයි හමුවන්නේ. මේ හමුවන රෝගීන්ගෙන් වැඩිම කොටසක් අපිට මේ ඩෙල්ටා රෝගීන් හැටියට හමුවන්නේ බොහෝ වෙලාවට සනීප වෙලා ගෙදර ගියාටත් පස්සේ. ඒ කියන්නේ පළමු සාම්පල් එක අරගෙන එය සැකසහිත නිසා දෙවැනි වතාවට ඒකෙන් ඩී සීක්වන්සි කරලා අවශ්‍ය තොරතුරු ලබා ගන්නකොට බොහෝ වෙලාවට කාලය ගතවෙලා ඉවරයි. මෙතනදී අපට අවශ්‍ය වන්නේ සෑම රෝගියෙක්ම ඩෙල්ටා රෝගියෙක් විය හැකියි කියන පදනමෙන් සැලකීම තමයි වැදගත් වෙන්නේ.
සමකැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ මහතා,
ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, දැන් රෝගීන්ගෙන් සියයට 30 ක් පමණ ඩෙල්ටා ආශ්‍රිතයින් වීමට හැකියාව තිබෙන බවට උපකල්පනයක් පමණයි. එය නිශ්චිතව සඳහන් කරලා නෑ කිසිම අවස්ථාවකවත්. මේ සිදුවන මරණවලින් සියයට 90 ක්ම සිදුවන්නේ එන්නත ලබා නොගත්ත අය වීම ඉතාම පැහැදිලි කාරණයක්.