බැසිල් හමුවූ මහකොමසාරිස්වරු සහ තානාපතිවරු

මුදල් ඇමති බැසිල් හමු වූ මහකොමසාරිස්වරු සහ තානාපතිවරු

by Staff writer 27-07-2021 | 10:44 PM

COLOMBO (News 1st) - මැදපෙරදිග සහ ආසියානු රටවල් කිහිපයක මහ කොමසාරිස්වරු සහ තානාපතිවරු කිහිපදෙනෙක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(27) හමුවිය.

ඒ, මුදල් අමාත්‍යංශයේදීය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූ බංගලාදේශ මහ කොමසාරිස් තාරෙක් අරිෆුල් ඉස්ලාම් මහතා සඳහන් කළේ, කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ 4% ක ආර්ථික වර්ධන වේගයක් වෙත ළඟාවීමට ශ්‍රී ලංකාවට හැකිවීම පිළිබඳව සතුටු වන බවයි. ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය ග්‍රාමීය මට්ටමින් ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා පහසුකම් ලබාදීමට පකිස්ථාන රජය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ වැඩබලන පකිස්ථාන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා පවසා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට එන්නත් ලබා ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බව සෞදි අරාබි තානාපති අබ්දුල් අල් හාති මහතා සඳහන් කර ඇත. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි සියලුම මැදපෙරදිග රටවල් ඉමහත් ගෞරවයක් ඇති බව ද ඔහු එහිදී සිහිපත් කර තිබේ. ලන්ඩන් නුවර පිහිටි කුවේට් ව්‍යාපාරික ආයෝජන කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා බව කුවේට් තානාපති කලාෆ් භූ දාහීර් මහතා අමාත්‍යවරයා සමග පැවති හමුවේදී සඳහන් කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය. මුදල් අමාත්‍යවරයා වෙත තම රජයේ සුබ පැතුම් එක් කළ ඊජිප්තු තානාපති හුසේන් අල් ශාටි මහතා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ තේ සඳහා ඊජිප්තු වෙළඳපොළ තුළ වැඩි අවස්ථාවක් උදාකර ලීමට සහාය දෙන බවය.