නිශ්ශංක සේනාධිපති අල්ලස් නඩුවෙන් නිදහස්

නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු අල්ලස් නඩුවෙන් නිදහස්

by Staff writer 27-07-2021 | 2:23 PM

COLOMBO (News1st) :  අල්ලස් කොමිසම පැවරූ නඩුවෙන් විශ්‍රාම මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ට්-ගාර්ඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන්වරුන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (27) නියෝග කළේ ය.

විත්තිකරුවන්ට එරෙහිව නඩුව පවරා තිබුණේ, ඇවන්ට්-ගාර්ඩ් මෙරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම සඳහා එම සමාගමෙන් රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබා ගැනීම සහ එම අල්ලස ලබාදීම යන අධිචෝදනා යටතේයි. නඩුව අද දින කැඳ වූ  අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාරි ජයරත්න මහත්මිය කරුණු දක්වමින් , විත්තිකරුවන් දෙදෙනොට එරෙහිව පවරා ඇති නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොගොස් අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට සිය කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තුන්දෙනා තීරණය කර ඇති බව අධිකරණයට පෙන්වා දුන්නේ ය. අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාවේ කොමසාරිස්වරු තුන්දෙනාගේම විධානය නොමැතිව විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබීමේ පදනම මත අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා නමුත් ඉදිරියේදී ඔවුනට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමේ කොන්දේසියට යටත්ව අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා බව තුෂාරි ජයරත්න මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියා ය.