ජනපති UN ආහාර සමුළුවේ රාජ්‍ය නායක පූර්ව සැසියඅමතයි

ජනපති එක්සත් ජාතීන්ගේ ආහාර සමුළුවේ රාජ්‍ය නායක පූර්ව සැසිය අමතයි

by Staff writer 27-07-2021 | 11:55 AM

COLOMBO (News1st) :  අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම පිණිස කාබනික කෘෂිකර්මාන්තය උදෙසා ශ්‍රී ලංකාව ගන්නා උත්සහයට තවත් රටවල් පෙළඹෙනු ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක නායකයන් හමුවේ විශ්වාසය පළ කර තිබේ.

ජනාධිපතිවරයා මෙම  අදහස් පළ කළේ, ඉතාලියේ රෝම නගරයේ දී ඊයේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ ආහාර සමුළුවේ රාජ්‍ය නායක පූර්ව සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි. මෙය පිළි ගැනෙන්නේ, සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට වේදිකාව සැකසීමක් ලෙසයි. තෙදිනක් පුරා ඉතාලියේදී පැවැත්වෙන සමුළුවේ මූලිකත්වය දරන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටෙරස් මහතායි. රටවල් ගණනාවකින් තරුණයෝ , ගොවීහු, ආදිවාසීහු , සිවිල් සමාජ ක්‍රියාකාරීහු සහ පර්යේෂකයෝ මෙම සමුළුවට එක්ව සිටිති. වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුව ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, ගැඹුරින් එකිනෙක බැඳුණු ලෝකයක් අප සියල්ලන්ම බෙදා හදාගෙන ජීවත් වන බව කොවිඩ් වසංගතයත් සමග තහවුරු වී ඇති බවයි. ලෝකවාසීන්  මුහුණ දෙන සමාජයීය, දේශපාලනික හා ආර්ථික ප්‍රශ්න විවිධ වුවත් අභියෝග සියල්ලම විශ්වීය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. එම අභියෝග ජය ගැනීමට සාමූහිකව ක්‍රියා කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝකවාසී සියලු නායකයන් ඉල්ලීමක් කළේ ය.