අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල ශ්‍රී ලංකාව ආපසු ගෙවයි - කෙහෙළිය රඹුක්වැල්ල

by Staff writer 27-07-2021 | 10:24 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව ඊයේ(26) දිනයේදී ආපසු ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් බිලියනයක ණය ආපසු ගෙවූ බව අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි.

සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
කොවිඩ් වසංගතයත් එක්ක මුළු ලෝකෙම හඬා වැළපෙන සහ ආර්ථික කඩා වැටීමක් තියෙන මොහොතක අපි අපේ කෑෂ් ෆොලෝ එක එහෙම නැත්නම් මුල්‍යමය හැසිරීම ඉතාමත්ම දක්ෂ ලෙස කරපු එකට කදිම සාක්ෂියක් තමයි ඊයේ දවසේ අපිට ගෙවන්න තිබ්බ බිලියනය අපි, අපිට කිසිම පීඩනයක් නැතුව අපිට ගෙවාගන්නට හැකියාවක් හෙට දවසේ ඉඳන් මුළු බැංකු පද්ධතියම ණයවර ලිපි ඉදිරිපත් කිරීම භාණ්ඩ ගෙන්වීම් කිසිම බාධාවකින් තොරව ඉදිරියට යන්නට පුළුවන් වතාවරණයක් අපි හදලා තියෙනවා.
ප්‍රශ්නය,
මේ සඳහා ජාත්‍යන්තර වෙනත් ණයක් ලබාගත්ත ද නැත්නම් සංචිත උපයෝගී කර ගනිමින්ද මේ ණය ගෙවා දැමීම් සිදු කළේ ?
සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
සංචිතවලටත් බලපෑමක් නොවන අකාරයට මූල්‍යමය පාලනය තුළින් ගත්තා වූ ක්‍රමවේදයන් හරහා තමයි අපිට මේ මුදල් ගෙවන්න පුළුවන් වුණේ. ඒ නිසා මම කියන්න ඕනේ ඔබතුමාට සංචිත එක අවස්ථාවක බිලියන 1.2 කට අඩුවෙලා තිබ්බා හැබැයි අපිට පුළුවන් වුණා යුද්ධයත් කරගෙන කෑෂ් ෆොලෝ එකත් පාලනය කරමින් ඒ වගේම අපේ සංචිතත් පාලනය කරමින් අවසානයේ සංචිත බිලියන 8 කට වෙන්න භාර දෙන්න. ඒ වගේම ලබන ජනවාරියේ අපිට තියෙනවා මිලියන 500 ක් ගෙවන්න. ජුලි මාසේ වෙනකොට බිලියනයක් අපි ඒ සම්බන්ධව අපේ ඉතිහාසයේ පළවෙනියෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 2005 සිට 2015 කාලය තුළ එකම අවස්ථාවකවත් අපේ ඩිෆොල්ට් එකක් තිබුණේ නැහැ.
මේ අතර ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩිවියට අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා ඇත්තේ, ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීමෙන් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත අඩු වුවත් වෙනත් ආදායම් මාර්ග මගින් එය නැවත නගාසිටුවීමට හැකි බවය. රජයේ ඌණ උපයෝජිත වත්කම්වල ආයෝජනය කිරීම එම ආදායම් මාර්ග අතරින් එකක් ලෙස ඔහු පෙන්වා දී තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, මහ තැපැල් කාර්යාලය සහ නාරාහේන්පිට ට්‍රැක්ටර් සංස්ථා ඉඩම දැනටමත් ආයෝජකයින්ගේ ආකර්ශනය දිනාගෙන ඇති බවය. මෙම ව්‍යාපෘති හරහා ඩොලර් මිලියන 700ත් 1000ත් අතර ආයෝජනයක් අපේක්ෂා කරන බව ද කබ්රාල් මහතා පවසා ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට පවසා තිබුණේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බලවතුන් සමග සමබර ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ආයෝජන ආකර්ශනය කිරීමට පියවර ගන්නා බවය. සැවොම අප පිළිබඳව අවධානයෙන් සිටින බැවින් එය ශක්තියක් කරගෙන ඉදිරියට යායුතු බව ඔහු පෙන්වා දී තිබේ. ඔවුන් මෙරටට ආකර්ෂණය වන්නේ ව්‍යාපාර සඳහා මිස වෙනත් කරුණක් සඳහා නොවන බව ද බී.පී. ජයසුන්දර මහතා අවධාරණය කර තිබේ.