බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්

බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් යළි පැවැත්වීමට අධිකරණයෙන් අවසර

by Staff writer 26-07-2021 | 6:05 PM

COLOMBO (News 1st) - රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිලිස්සුම් තුවාල සහිතව මිය ගිය ජූඩ් කුමාර් ඉෂාලිනී නැමැති 16 හැවිරිදි දැරියගේ සිරුරු නැවත ගොඩ ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍ර ජයසූරිය මහත්මිය අද(26) අවසර ලබා දුන්නාය.

අතිරේක මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේ, ඩයගම ප්‍රදේශයේ භූමදානය කර ඇති ඇගේ සිරුර ගොඩගෙන පරීක්ෂා කිරීම සදහා ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් පත් කරන ලෙසය. මෙම දැරියගේ මරණයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇගේ පියා, සහෝදරයා සහ තරැව්කරු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද අධිකරණය අද නියෝග කළේය. විත්තිය වෙනුවෙන් ඇප ඉල්ලා කළ ඉල්ලීම අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය. ඇය පෙන්වා දුන්නේ දැරිය මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසට ගෙනවිත් භාර දී ඇති පළමු සැකකාර තැරව්කරු එමගින් විශාල වශයෙන් මුදල් උපයාගෙන ඇති අතර දෙවන සැකකාර රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ පියා හිතාමතාම එම ගිනි ගැනීමට අදාළ සිද්ධීන් ගැන තොරතුරු වසන් කර ඇති බව ද පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු අනුව පෙනී යන බවය. ගිනි ගැනීමට ලක් වූ නිවසේ සිට විනාඩි 15 ක 20ක කාලයක් තුළ දැරිය රෝහල් ගත කිරීමේ හැකියාව තිබියදීත් ඒ සදහා පැය එක හමාරකට අධික කාලයක් ගතවී ඇති බව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ කරුණු දැක්වීම හා තම අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන අනුව පැහැදිලි වන්නේ යැයිද අතිරේක මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය. දෙවන සැකකාර රිෂාඩ් බදියුදීන් මහතාගේ මාමණ්ඩිය, දැරියගේ පියා සහ ඇගේ සහෝදරයා මගින් මරණය සම්බන්ධයෙන් වූ විමර්ශන අවසන් කිරීමට උත්සාහ දරා ඇති බවත් එම මරණය සහ සෙසු සිද්ධින් සම්බන්ධයෙන් කරන සංකීර්ණ විමර්ශන අවසන් නොමැති අවස්ථාවකදී ඇප ලබා දීමෙන් සමාජයේ යම් බලයක් සහිත පුද්ගලයින් වන සැකකරුවන්ට විමර්ශනවලට බලපෑමක් කිරීමට හා සාක්ෂි අතුරුදන් කිරීමට ඉඩ ප්‍රස්ථා පවතින බව තම අධිකරණයට පෙනී යන බවත් අතිරේක මහේස්ත්‍රාත්වරිය කියා සිටියාය. දැරියගේ මරණය සම්බන්ධයෙන් දැනට පවතින සාක්ෂි අනුව නිවසේ ගෘහ මූලිකයා වන රිෂාඩ් බදියුදීන් මහතා ද සැකකරුවෙකු ලෙස නම් කිරීමට පැමිණිල්ල නුදුරේදීම පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය. ඔහු කියා සිටියේ මෙම මරණය වෙන් වෙන්ව සිදුකළ මරණයක් නොව රිෂාඩ් බදියුදීන් මහතාගේ පවුලේ සියලුදෙනාගේ අනුදැනුම හා සහභාගීත්වය මත සිදුවූවක් බවය. දැරිය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ මාස 8 ක කාලය තුළදී ඇගේ මව හා පියා අවස්ථා තුනකදී දැරිය දැක ගැනීමට නිවසට පැමිණ ඇතත්, සැකකරුවන් එකම අවස්ථාවක් හෝ ඇයව හමුවීමට ඉඩ දී නැතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය. ඔහු පැවසුවේ එම දැරියගේ මරණය සිදුවීමට පෙර පහරදීමක් සිදුවී ඇති බවට ශරීර ලක්ෂණ අනුව පෙනී ගියද, ඇගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේදී ඒ පිළිබඳව නිසි අවධානය යොමු කර නොමැති බවය. රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සී.සී.ටී.වී. කැමරා 08ක් සවිකර ඇතත්, ඉන් 06ක් අක්‍රිය බවට නිවැසියන් පවසන බැවින් එම සී.සී.ටී.වී. කැමරාවල දත්ත මොරටුව විශ්වවිද්‍යාලය වෙත යවා මකා දමා ඇති දර්ශන ලබා ගැනීමට නියෝගයක් කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණය ඉල්ලා සිටි අතර අධිකරණය ඊට අවසර ලබා දුන්නේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා, මේ විමර්ශනය ඉතාමත් තියුණු ලෙස සිදු කිරීම අපේ අරමුණයි සමහරවිට මේ සාක්ෂි සටහන් කිරීමේ ඒ සාක්ෂිවලින් ගම්‍ය වන කරුණුමත තවදුරටත් සාක්ෂි සටන් කළ යුතුයි. ඒ මත තවදුරටත් සාක්ෂි සටහන් කළ යුතුයි. ඒ ආකාරයට විමර්ශනය කිරීමෙන් අනතුරුවයි මීට අදාළ සියලු පාර්ශ්වකරුවන් ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම මේ සිද්ධියට යම් ආකාරයට සෘජුව හෝ වක්‍රව යම් පාර්ශ්වයක් සම්බන්ධ වී සිටිනවා නම් ඒ සියලු පාර්ශ්වකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලීසිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා.