COLOMBO (News 1st): අභාවප්‍රාප්ත වූ කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(25) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වූයේ අද(25) පෙරවරුවේදීය.
කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වනවිට සභාපතිතුමාගේ වයස අවුරුදු 78කි.
1943 වසරේ මැයි 19 වැනිදා උපත ලැබූ රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා පාසැල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි.
ඔහු වයස අවුරුදු 16 දී තම සහෝදරයා සමග සිය පියාගේ මහාරාජා සංවිධානය සමග එක්විය.
වයස අවුරුදු 21 දී රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා සිය සොයොයුරා සමග ව්‍යාපාරය සියතට ගත්තේ පියාගේ අභාවයත් සමගිනි.
ඒ, ව්‍යාපාර පිළිබඳව මනා දැනුමක් හෝ පුහුණුවක් නොමැතිවයි.
එතැන් සිට මේ දක්වා ඔහු ලෝක ගෞරවයට පාත්‍රවූ, ක්ෂේත්‍ර ගණනාවක විප්ලවීය වෙනස්කම් කළ පරිපූර්ණ, දැවැන්ත ව්‍යාපාර සමූහයක් ගොඩ නැගීමට සමත්වූ අතර ජනතාවගේ හද බැඳගත් විශිෂ්ට සංවිධානයක් බිහි කිරීමට සමත්විය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද ප්‍රථම ආයෝජන ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වූයේද ඔහුයි.
වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ ඇතුළු මහවැලි සංවර්ධන වැඩපිළිවෙළට අයත් දැවැන්ත බහුකාර්යය යෝජනා ක්‍රම ගොඩනැගීමට සිය සමාගම් හරහා රාජමහේන්ද්‍රන් මහතා දායකත්වය ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් වරම් දිනා දීම පිටුපස සිටි නායක්තවය ද ඔහු බව නොරහසකි.
මෙරට ජංගම දුරකතන සේවාවන් නව්‍යකරණය කරමින් ජනතාවට වඩාත් පහසුවෙන් සේවාවන් ලබාගත හැකි පරිදි ඩයලොග් ආයතනය පිහිටුවීමට ද මුල්වූයේ ආර්.රාජමහේන්ද්‍රන් මහතායි.
ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවේ දැවැන්තම මාධ්‍ය ජාලය ආරම්භ කරමින් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ නව්‍යකරණයට මගපාදමින් විප්ලවීය ගමනක් ආරම්භ කළේය.
නිව්ස්ෆස්ට් ප්‍රවෘත්ති ජාලය සෘජුව මෙහෙයමින් ජනතාවට සත්‍ය අනාවරණය කිරීමට කැපවූ රාජමහේන්ද්‍රන් මහතා දශක ගණනක් අතහැරුණු ජනතාව උදෙසා ගම්මැද්ද ජාතික ව්‍යාපාරය ගොඩනගමින් දහස් ගණන් ජීවිත තුළ වෙනසක් ඇති කිරීමට නායකත්වය ලබා දුන්නේය.
රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා හුදු මිනිසෙකු නොව පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ පරිච්ඡේදයකි.
දේශපාලන හා අනෙකුත් ක්ෂේත්‍රයන්හි අතීත හා වර්තමාන බොහොමයක් නායකයින්ට තමන්ගේ වෘත්තීය හැඩ කරගන්නට ඔහු ආත්මාර්ථයෙන් තොරව සහාය දුන්නේ අන්කවරකටත් නොදෙවෙනි ලෙසිනි.
ඔහු නායකයන්ට සහය දුන්නේ ප්‍රතිලාභ ලෙස කිසිවක් අපේක්ෂා නොකරයි.
ඇතැම් අවස්ථාවල ඔවුන් ඔහුට එරෙහිව ක්‍රියාකළත් හිස ඔසවා සිටින්නට තරම්
ධෛර්යයක් රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා තුළ තිබුණි.
ඔහු විශේෂ වූයේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඔහු තුළවූ හෘදයාංගම බැඳීම නිසයි.
ජනතාව වෙනුවෙන් ඔහු කිසිවිටෙකත් ලාභය ගැන නොසිතා ක්‍රියාකළ විශිෂ්ටයෙකි.
රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා කිසිවිටෙකත් ඒ වෙනුවෙන් ආපසු කිසිවක් බලාපොරොත්තු වූ අයෙකු නොවේ.
හින්දු භක්තිකයෙකු වුවද බුදු දහමටත් අන් සියලු ආගම්වලටත් ඔහු එකලෙස ගරුකල අතර එහි උන්නතිය වෙනුවෙන් කැපවිය.
රාජමහේන්ද්‍රන් මහතා මිනිසුන් එකමුතු කිරීම විනා කිසිවිටෙක් බෙදා වෙනකරන්නට පෙනී නොසිටි අයෙකි.
ඔහු කැපිටල් මහාරාජා සමූහය නිර්මාණය කළේ, සංහිඳියාවේ තෝතැන්නක් ලෙසය.
කිසිදු භේදයකින් තොරව හැකියාව මතම ඉදිරියට යන්නට මාර්ගය පෙන්වා දුන් ඔහු සැබවින්ම පරමාදර්ශී නායකයෙකි.
සංගීතය, චිත්‍ර කලාව, නර්තනය, සිනමාව වැනි ක්ෂේත්‍ර පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් තිබූ ආර්.රාජමහේන්ද්‍රන් මහතා කලාවට බෙහෙවින් ආදරය කල අයෙකි.
ඔහුගේ සහජ හැකියාව දශක ගණනාවක් තුළ සිරස සහ ශක්ති මාධ්‍ය ජාලය තුළ ජනතාව වැළඳ ගත් නව සංකල්ප හරහා කල එළි දුටුවේය.
රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා ජීවිතයේ අභියෝගවලට නොසැලී මුහුණුදුන් අයෙකි.
1983 මහරාජා සංවිධානය ගිනිබත් කළ අතර 2009 සිරස මාධ්‍ය ජාලයේ දෙපානම මැදිරි සංකීර්ණය ද ගිනිබත් කළේය.
ඔහුගේ ජීවිතයට ද විවිධ අවස්ථාවල විවිධ තර්ජනද එල්ලවූ අතර අවස්ථා කිහිපයකදීම ඔහුගේ සමීපතමයින් ද අහිමි විය.
එහෙත් ඔහු විශ්වාස කළ සත්‍යය වෙනුවෙන් නොසැලී පෙනී සිටියේය.
රාජමහේන්ද්‍රන් මහතා තමන් උපන් බිම වෙනුවෙනුත් අප සියලු දෙනාගේ අනාගතය වෙනුවෙනුත් සටන් කළ පුද්ගලයෙකි.
ඔහු කිසිවිටෙක් ප්‍රසිද්ධිය අපේක්ෂා කළ අයෙක් නොවේ.
නමුත් ජනතාව වෙනුවෙන් සිය කාර්යය භාරය නිහඬව ඉටුකළ අයෙකි.
රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා අන්රටවලට අවනත නොවන ශක්තිමත්, ස්වෛරී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නොසැලී ක්‍රියාකළ අයෙකි.
ඔහු ජනතාව සතුටින් ජීවත්වෙන සෞභාග්‍යමත් රටක් සෑම විටම අපේක්ෂා කළේය.
රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතාගේ දැක්ම හරහා නිර්මාණයවූ කැපිටල් මහාරාජා සමූහය ඒ වෙනුවෙන් ඉදිරියටත් කැපවී සිටී.
හුදු ලාභ අපේක්ෂාවෙන් කිසිදු අවස්ථාවක අයහපත් ව්‍යාපාර භාවිතයන්ට යොමු නොවූ රාජමහේන්ද්‍රන් මහතා සෑම විටම සත්‍ය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකි.
ඔහු අනුගාමිකයින් තැනූ නායකයෙක් නොව නායකයින් බිහි කළ නායකයෙකි.
අපගේ සභාපතිතුමා විශ්වාස කළ ආකාරයට සත්‍යයේ බලය අවසානයේ සියලු දේ ජයගනු ඇති.
අප හා රට වෙනුවෙන් කළ සියලුදේට ස්තුතියි!
ඔබගේ පරාර්ථකාමීත්වයට ස්තුතියි!
ඔබ අපහට දැක්වූ ආදරයට ස්තුතියි!
ඔබගේ කැපවීමට ස්තුතියි!
අප පිළිබඳ විශ්වාසය තැබීම පිළිබඳව ස්තුතියි!
සභාපතිතුමනි, ඔබ ගොඩනැගූ සියලු දෙනා ඔබගේ යුග මෙහෙවර ඉදිරියටත් එලෙසම නොනවත්වා රැගෙන යනු ඇති.
කැපිටල් මහරාජා සංවිධානයේ කළමනාකරණ අධ්‍යක්ෂ ශෂී රාජමහේන්ද්‍රන් මහතා, එහි කළමනාකාරිත්වය හා කාර්යය මණ්ඩලය ප්‍රාර්ථනා කරන්නේ අපෙන් සමුගත් අපේ ආදරණීය සභාපතිතුමනි, ඔබට නිවන් සුව..!!
https://youtu.be/M0RCi1gHdJs