මෙරට කොවිඩ් රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක්..

මෙරට කොවිඩ් රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

by Staff writer 25-07-2021 | 8:55 PM

COLOMBO (News 1st) - මෙරට කොවිඩ් රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

මෙරටින් වාර්තාවන ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් ගණන 68 ක් වුව ද සමාජයේ තවත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඩෙල්ටා ප්‍රභේදය පළමු වරට හමු වූයේ ඉන්දියාවෙනි. ඇල්ෆා ප්‍රභේදයට වඩා 50% වැඩි වේගයකින් මෙය පැතිර යා හැකි බව මීට පෙර විශේෂඥයින් අනතුරු අඟවා තිබුණි. එබැවින් වැඩි දෙනෙකුට ඉතා සීඝ්‍රයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීමේ ඉඩ පවති.

රෝග ලක්ෂණ මොනවා ද?

හිසරදය උගුරේ අමාරුව නාසයෙන් සොටු දියර ගැලීම කොරෝනා වෛරස ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ විට බහුලව වාර්තා වන රෝග ලක්ෂණයි. ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත කොවිඩ් රෝගීන් ගණනාවක් හමු වීමත් සමග ඉදිරියේදී ශ්‍රී ලංකාවටත් එය තීරණාත්මක වනු ඇති බවට ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් පසුගිය දා අනතුරු ඇඟවුයේ ය. එවන් පසුබිමක මෙරටින් වාර්තාවන ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් ගණන 68ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ තහවුරු කළේ ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, ඉන් බහුතරය කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි. එම නිසා පැතිර යන ඩෙල්ටා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන්, දැඩිව අවධානය යොමු කර සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. මේ අතර තවත් කොරෝනා මරණ 52 ක් ඊයේ වාර්තා කර තිබුණි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මරණ පෙරේදා දින එනම් ජූලි 23 වැනි දා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි. ඒ අනුව, මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 4054 ක් දක්වා ඉහළ යනු ඇති. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,
රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙනවා පසුගිය සතියේ. රෝගීන් වැඩි වෙලා තියෙන රෝහල්වලට වසංගත රෝග ඒකකයෙන් වෛද්‍ය නිලධාරීන් කණ්ඩායම් යැව්වා කොයි වගේ රෝගීන් ද ඇතුළත් වෙලා ඉන්නේ බලන්න. ඔවුනගේ එන්නත්කරණය පිළිබඳ අපි දත්ත ලබා ගත්තා. එම රෝගීන්ගෙන් බැලුවම තාමත් සමහර පුරවැසියන් එන්නත් ලබාගෙන නැහැ. එන්නත් ගත්තේ නැති අය තමයි රෝගය හැදිලා රෝහල්ගත වෙලා තියෙන්නේ. ඒ අයගෙන් තමා පවුල්වල අනිත් අයට බෝ වෙලා තියෙන්නේ. මරණයට පත්වෙන වැඩිහිටියන් බොහෝ දෙනෙක් එන්නත්කරණය කරගෙන නැහැ. මම කාරුණිකව ඉල්ලා සිටිනවා අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් එන්නත මොන එන්නතද කියලා හොයන්නේ නැතුව එන්නත ලබා ගන්න
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්,
මේ වෙලාවේ නිදාගෙන ඉන්න මේ වෙලාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැති මේ වෙලාවේ අවශ්‍යතාවයන් හොයන්නේ නැති මේ වෙලාවේ PCR පරීක්ෂණ කරන්නේ නැති මේ වේලාවේ ප්‍රභේද පරීක්ෂණ කරන්නේ නැති මේ වෙලාවේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කරන්නේ නැති ඒවා කරන්න සහයෝගය දෙන්නේ නැති ඒවා කරන්න පහසුකම් දෙන්නේ නැති කණ්ඩායම අනිවාර්යයෙන්ම තවත් රැල්ලක් ඇති වුනොත් වගකියන්නම ඕනේ. රැල්ලක්  පාලනය කරනවා අත අරිනවා නැවත රැල්ලක් ඇති වෙනවා ආයේ රැල්ල පාලනය කරනවා අත අරිනවා නැවත රැල්ලක් ඇති වෙනවා මේ වගේ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ ඇයි අපි? මේක පාලනය කරගැනීම මේ මොහොතේ වගකීමක් සෞඛ්‍ය අමාත්‍යංශයේ
සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එස්.එම්.බී මැදිවත්ත,
මේ වනවිට රට පුරා පී.සී.ආර් පරීක්ෂණ කිරීම  5000 කට පමණ සීමා වෙලා තියෙන තත්ත්වයක දෛනිකව රෝගීන් 1300 සිට එක්දහස් පන්සීයක වගේ ප්‍රමාණයක් වාර්තා වෙනවා. ජුනි මාසය පමණ වනවිට දෛනිකව පරීක්ෂණ පහළොස් දහසක් 20,000 ක් අතර ප්‍රමාණයක් සිදු කළා . ඒ ප්‍රමාණයට සාපේක්ෂව රෝගීන් එක්දහස් පන්සියයක් දෙදහක් විතර වාර්තා වුණා. ඒ අනුව බලන විට මේ මොහොත වන වනවිට ඉතාමත්ම වැඩි රෝගීන් ප්‍රතිශතයක් වාර්තා වෙමින් තිබෙනවා. අපි කියනවා එන්නත පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ අනිත් පැත්තෙන් ජනතාවගේ සංචරණ සීමා සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඉදිරියේ දී මේ රැල්ල තවදුරටත් වැඩි වුවහොත් දැඩි සත්කාර පහසුකම් අවශ්‍ය රෝගීන් සඳහා එය පහසුකම් සපයන්න සෞඛ්‍ය අමාත්‍යංශය පැත්තෙන් නිසි සැලැස්මක් වැඩපිළිවෙළක් හදලා නැති එකක් අපි දකිනවා.
මේ අතර කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩසටහන අදත් දිස්ත්‍රික්ක රැසකදී ක්‍රියාත්මක කෙරුණි. වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ජනතාවට අද කොවිඩ් මර්දන එන්නත් ලබා දුන්නේ වැලිහිඳ පුරාණ විහාරස්ථානයේදීය. සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ගුරුවරුන් සඳහා ද කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද සිදු විය. මේ අතර එක් දිනක් තුළ එන්නත්කරණය කළ වැඩිම පිරිස සටහන් කරමින් ඊයේ දිනය තුළ පුද්ගලයින් හාර ලක්ෂ දොළොස් දහස් එකසිය එකොළොස් දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ ය. ඊයේ දිනයේ පමණක් සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 3 ක්. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,
ඇස්ට්‍රාසෙනික් දෙවැනි මාත්‍රාව ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඔබ දෙවන මාත්‍රාව ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් තවදුරටත් ඔබට ඒ එන්නතේ බලය තියෙනවා. එය නැවත ප්‍රතිජනනය කිරීමේ හැකියාව මේ වන තෙක් තියෙනවා. ඉදිරි දින කිහිපයක කිහිපය කාලයේ දී ජපාන රජය මගින් පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඇස්ට්‍රාසෙනික් මාත්‍රා 14 ලක්ෂ හැත්ත දහසක් ලැබීමට නියමිතයි. විශේෂයෙන්ම මෙය ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන අවස්ථාවේදී විශේෂයෙන්ම තව සති තුන හතරකින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ගුරු පොකුරක් මේ රටේ ඇති වෙයි කියන එක. එදාට ඒ සඳහා මහින්ද ජයසිංහලා ජෝසෆ් ස්ටාලින්ලා වග කියන්න ඕන.