දියේ ගිලීම් වැළැක්වීම පිළිබඳ දිනය අදයි..

දියේ ගිලීම් වැළැක්වීම පිළිබඳ දිනය වෙනුවෙන් Gammadda V-Force විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්

by Staff writer 25-07-2021 | 8:22 AM

COLOMBO (News 1st) - දියේ ගිලීම් වැළැක්වීම පිළිබඳ දිනය අදට යෙදී තිබේ.

ජූලි 25 ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයේදී ප්‍රකාශයට පත් කෙරිණි. දියේ ගිලීමෙන් වසරකට ලොව පුරා පුද්ගලයින් 220,000 අධික පිරිසක් මිය යන පසුබිමක , ශ්‍රී ලංකාවේ වාර්ෂික එම මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 800ක් ලෙසය. නොදැනුවත්ව සිදුවන අනතුරුවලිදී මියයන සාධක අතුරින් මෙරට දෙවන සාධකය දියේ ගිලිම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ජාතික අනතුරු වැළැක්වීමේ සහ කළමනාකරණ වැඩසටහනේ කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ, වෛද්‍ය සමිත සිරිතුංග මහතා පෙන්වා දෙයි. එම පුද්ගලයින්ගෙන් බහුතරයක් වයස අවුරුදු 21ත් 60ත් අතර වසසේ පසුවන්නන් බවය. දියේ ගිලීමෙන් පසු බේරාගනු ලැබූ පුද්ගලයින් ද, දිගුකාලීන ආබාධවලට ලක් වන අතර එය මහජන සෞඛ්‍යට මෙන්ම සමාජ ආර්ථික සංවර්ධන ද අභියෝගයකි. දියේ ගිලීමෙන් සිදුවන මරණ වළක්වා ගන්නේ කෙසේද? අදට යෙදී ඇති දියේ ගිලීම් වැළැක්වීම පිළිබඳ දිනය වෙනුවෙන් ගම්මැද්ද වී ෆෝස් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබේ. එම වැඩසටහන පෙරවරු 10.00 සිට සූම් හා ෆේස්බුක් හරහා සජීවීව පැවැත්වෙනු ඇති. ඊට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් සුදන්ත රණසිංහ හා ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සභාපති අසංක නානායක්කාර යන මහත්වරුන් සහභාගී වේ. නොසැලකිලිමත්කම නිසා සිදුවන දියේ ගිලීම් අවම කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇති. www.vforce.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැකියි.