සංචරණ සීමා දැඩි කරන්න: ඩෙල්ටා, ඉදිරි මාසය තුළ මෙරට ප්‍රධාන වෛරස් ප්‍රභේදයක් විය හැකියි - විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවයි

by Staff writer 24-07-2021 | 9:37 PM

COLOMBO (News 1st) - දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන යළිත් කොරෝනා මර්දන නීති දැඩි කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පැතිර යන ඩෙල්ටා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් දැඩිව අවධානයට ගෙන සෞඛ්‍ය උපදෙස් මත සියලු දෙනා ක්‍රියාත්මක විය යුතු බවය. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
අපිට පැහැදිලිව පේන දෙයක් තමයි මේ රෝගීන් ලංකාවේ බස්නාහිර පළාතෙනුත්, උතුරු පළාතෙනුත්, දකුණු පළාතෙනුත්, නැගෙනහිර පළාතෙනුත් හමුවෙලා තියෙනවා. ඔය කියන හැම පළාතකින්ම හමුවෙලා තියෙනවා නම් අනෙකුත් පළාත්වලින් හමුනොවුණත් නැහැයි කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ මොහොත වෙද්දී කවුරුත් දන්නවා 100ට අඩු සංඛ්‍යාවක් තමයි අපිට රෝගීන් හමුවෙලා තහවුරු කරලා තියෙන්නේ. ඒ තහවුරු කරලා තියෙන්නේ නියැදිවලින් සාම්පල්වලින්. මේ වනවිට විශාල සංඛ්‍යාවක් අපි අතරේ පරිසරයේ ඉන්න ඉඩ තියෙනවා.
මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සභාපති වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසන්නේ, ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි මාසය තුළ මෙරට ප්‍රධාන වෛරස් ප්‍රභේදයක් බවට පත්වීමේ අවදානමක් පවතින බවය. ලෝකයේ අනෙකුත් රටවල ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය ගැන සැලකිල්ලට ගනිමින් ඒ බව ප්‍රකාශ කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමේ වේගය අධික වීමයි. දැනට රට තුළ ක්‍රියාත්මක එන්නත් වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්විය හැකි වුවත්, එන්නත් ප්‍රමුඛතාවයන්ට අනුව ලබාදීමේදී ගැටලු තවමත් පවතින බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පැවසීය. එක් එක් එන්නත් වර්ග පළාත් මට්ටමින් බෙදා දීම වෙනුවට, ඒවායේ ක්‍රියාකාරිත්වය හා වැඩිම වයස් සීමා සලකා බලමින් ලෝක ප්‍රවණතාවයන්ට අනුකූලව එන්නත්කරණය සුදුසු බව සංගමයේ මතයයි. එසේ නොවුණහොත් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එන්නත්කරණය ඵල රහිත බව ඔවුන් පෙන්වා දෙයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රශ්න කරන්නේ  ලෝකයේ අනෙකුත් රටවල් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සුදුසු එන්නත් තෝරාගනිද්දී අප ඒවා නොසලකා ඩෙල්ටා ප්‍රභේදය ගැන දත්ත නොමැති එන්නත් හදිසියේ අනුමත කර ගන්නට යොමු වන්නේ ඇයි ද යන්නයි. ඊට අමතරව සංචරණ සීමා ලිහිල් කිරීමේදී කටයුතු කර ඇති ආකාරය ගැන යළි සලකා බැලි යුතු බව ද එම සංගමය පැවසීය. විශේෂයෙන් පිරිස් ඒකරාශි වීමේ සංඛ්‍යාව අවම වශයෙන් 50-60 අතර සීමාවේ හෝ සුදුසු පරිදි දැනට වඩා අඩු මට්ටමකින් පවත්වාගෙන යා යුතු බව ඔවුන්ගේ මතයයි. එළිමහන් ස්ථානවලදී එම ඒකරාශිවීම් සිදුවිය යුතු බවත්, ඒකරාශි වී සිටින කාලය දැනට අවසර දී ඇති කාලසීමාවට වඩා අඩු විය යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ, එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති පිරිස් ද රට තුළ සිටින බැවින් ඔවුන් එම ක්‍රියාවලිය සඳහා පෙළඹවීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවය. මේ අතර ජාතික විද්වත් සංවිධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරුන් ඩෙල්ටා ප්‍රභේදයට මුහුණ දීමට සූදානම් විය යුතු බව අවධාරණය කර තිබේ. ජාතික විද්වත් සංවිධානයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා,
දැන් මේ ඩෙල්ටා ප්‍රභේදය නිසා තමයි තායිලන්තයත් මියන්මාරයත් ඉන්දුනිසියාවෙත් මේ සෞඛ්‍ය පද්ධතීන් බිඳ වැටෙන තරමට බරපතළ තත්ත්වයකට වැටිලා තියෙන්නේ. මේකෙන් පාඩම් ඉගෙන නොගෙන අපි ක්‍රියාත්මක නොවුණොත් අපිටත් මේ අර්බුදයට මුහුණ දෙන්න වෙනවා. එන්නත්කරණයේ ඒ අධිඅවදානම් කණ්ඩායම් සොයමින් එන්නත් කළේ නැහැ. ඒ නිසා මේ අර්බුදය අනෙක් රටවල්වලට වගේම මුහුණ දෙන්න සිදු වෙනවා. එන්නත්කරණයේ සියයට 14 ක වගේ සීමාවක තමයි ඉන්නේ එන්නත් 2කම ලබා දීපු අය. 85%  වගේ ප්‍රමාණයක් ඉන්නවා එන්නත් එකක් හෝ එන්නත් එකක්වත් ලබා නොදී. සියයට 20ක ප්‍රමාණයක් තමයි එන්නත් දෙකම ලබා දී තිබෙන්නේ. කොළඹ, ගම්පහ, කළුතර සහ අම්පාර ප්‍රදේශවල ඒ නිසා අපේ රටේ ජනතාව ඉදිරියේදී එන්න තියෙන ව්‍යසනයකට සූදානම් නැහැ කියලා තමයි හිතෙන්නේ.
ජාතික විද්වත් සංවිධානයේ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය සමන්ත විමලරත්න මහතා,
මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය රෝගීන් 61ක් හඳුනාගෙන තියනවා. ඩෙල්ටා ප්‍රභේදය කියන්නේ ඉතා දරුණුයි. පී.සී.ආර්. ප්‍රමාණයත් පහුගිය කාලයට වඩා අඩු ප්‍රමාණයකින් සිද්ධ වෙන්නේ එහෙම බැලුවොත් 25,000 ක්වත් කරනවා නම් මීට වඩා අපිට රෝගීන් හඳුනාගන්න පුළුවන්. ඇයි දවසින් දවස මේ වගේ රෝගීන් වැඩි වෙන්නේ. අපි මේ 4 වැනි රැල්ලට අතවනනවද කියන එකයි ප්‍රශ්නේ.
මේ අතර දෛනිකව කොවිඩ් අසාදිත දරුවන් පස් දෙනෙකුට වැඩි පිරිසක් වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, කොවිඩ් ආසාදිතව මෙරටදී දරුවන් 10 දෙනෙකු මේ වනවිට මිය ගොස් ඇති බවය. මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 500කට අධික බැවින් වසංගත තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමව්පියන් වැඩි අවදානයකින් කටයුතු කළ බව වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ලෝකයේ මතුව ඇති තත්ත්වය ගැන පැහැදිලි කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ඇඩනොම්,
ඩෙල්ටා ප්‍රභේදයක් මේ වනවිට ඉතා සීඝ්‍රයෙන් ලොව පුරා පැතිරී යනවා සෞඛ්‍ය හා සමාජ සීමා ලිහිල් කිරීමේ දී ඔවුන් සෞඛ්‍ය සේවකයින්ගේ සහ සෞඛ්‍ය පද්ධතීන්වලට එයින් එල්ලවන බලපෑම සැලකිය යුතුයි. එන්නත්කරණය අඩු රටවල මේ වනවිට පවතින තත්ත්වය ඉතා දරුණුයි මීට පෙර සාර්ථක ලෙස covid  19 ප්‍රථම හා දෙවන රැල්ල මර්දනය කිරීමට හැකි වූ රටවල්ද මේ වනවිට ඉතාමත් අසරණ වී තිබෙනවා. ප්‍රභේදය මේ වනවිට රටවල්  104 ක පැතිර ගොස් ඇත. අපි ඉදිරියේ දී  බලාපොරොත්තු වෙන්නේ ප්‍රබල ප්‍රභේදයක් ලෙසට මෙම ඩෙල්ටා ප්‍ර⁣භේදය ලෝ පුරා පැතිර යන බවයි.

එන්නත්කරණයෙන් පසුව ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා විය හැකි ද ?  

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් මහතා,
අපිට මේ වනවිට වාර්තා ලැබෙමින් පවතිනවා එන්නත්කරණය සිදු කළ පුද්ගලයන්ටද ඩෙල්ටා  ප්‍රබේදය වැළඳී ඇති බව. බහුතරයක් රෝහල්වල දක්නට ලැබෙන්නේ එන්නත්කරණය නොකල ජනතාවයි. අපි දන්නවා එන්නත්කරණයෙන් 100% ක ආරක්ෂාවක් නොලැබෙන බව. නමුත් යම්කිසි ආරක්ෂාවක් මෙයින් ලැබෙනවා. නමුත් මෙම වෛරසය අපට වැළඳී තවත් පුද්ගලයකුට බෝ විය හැකි නිසා තමයි අපි දිගින් දිගටම මුව ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය ඇතුළු අනිකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න උපදෙස් ලබා දෙන්නේ. ඩේල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට මාත්‍රා දෙකකම ලබාගත යුතුයි.

ගෝලීය වසංගත තත්ත්වය අවසන් කිරීමට තව කොපමණ කාලයක් ගත වෙයි ද ?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ඇඩනොම්,
කොරෝනා වසංගතය මුහුණ දෙන සමාජ ස්ථර දෙකක් තියෙනවා. ඇති සහ නැති සමාජ කාණ්ඩ දෙක මේ ස්ථර පද්ධතිය දැන් ප්‍රශ්නයක් වෙලා තියනව එකට හේතු දෙකක් තියනව එක තමයි තමන් මෙයින් ආරක්ෂා වෙලා ඉන්නවා හිතන උදවියට මේක අවදානමක් මොකද ඒගොල්ලෝ අනිත් අයව නොසලකා හරිනවා එමගින් මෙම වෛරසය පැතිරීමට ඉඩකඩ තිබේ. මට කණගාටුයි කියන්න මේක තනිකර තණ්හාවක් මේක මේක අපි හැමෝමගේම ආරක්ෂාව වෙනුවෙන් මොකද අපි කවුරුත් තවම මෙම වසංගතය පරාජයට පත් කරලා නෑ නමුත් අපිට එය කළ හැකි මෙය අපි දැඩිලෙස ක්‍රියාත්මක කළහොත් අවශ්‍ය තරමින් එන්නත් නිපදවිය හැකි ඉන් පසු ලෝකය යළි විවෘත කළ හැකි තව මාස කිහිපයකින් මෙය කිරීමට අපට හැකි.