ටිබෙටයේ, ඉන්දියානු දේශසීමා ආසන්නයටත් චීන ජනපති ගුවනින් පැමිණෙයි

by Staff writer 24-07-2021 | 10:24 PM

COLOMBO (News 1st) - ඉන්දු ෆැසිපික් කලාපයේ ආරක්ෂාව ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමට අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ඉන්දියාවේ සංචාරයකට සූදානම් වෙයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාවට පැමිණීමට නියමිතව ඇත්තේ, ලබන සතියේදීය. අ⁣මෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා සිය ඉන්දීය සංචාරයේදී ලබන බදාදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දියානු විදේශ අමාත්‍ය එස්. ජයසංකර් හමුවීමට නියමිතය. අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන්දු පැසිෆික් කලාපීය කටයුතු හා කලාපයේ ආරක්ෂක අවශ්‍යතා සහ කොවිඩ් මර්දන වැඩසටහන් වෙනුවෙන් මෙම සංචාරය සිදු කරන බවය. වර්ධනයවන චීන බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් ඇන්තනී බ්ලින්කන් මහතා කොඩ් කණ්ඩායම නියෝජනය කරන ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව සමග සමුළුවක් පැවැත්වීමට ද නියමිතය. මේ අතර අමෙරිකාව එරට මුර සංචාර ගුවන් යානයක් ඉන්දියාවට ලබා දී තිබේ. ඒ, පසුගියදා ලබාදුන් අමෙරිකාවේ නිෂ්පාදිත හෙලිකොප්ටර් යානා දෙකට අමතරවයි. මෙම ගුවන් යානා සබ්මැරීන් නාශක මෙහෙයුම් සඳහා විශේෂිත ඒවා බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ සම්බන්ධයෙන් අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා පවසා ඇත්තේ, ගුවන් යානා ලබාදීම දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධයවීමේ එක් පියවරක් බවයි. මේ අතර ඉන්දීය නාවික හමුදාවේ වයිස් අද්මිරාල් නැගෙනහිර නාවික අඥාපති ඒපී සිං මහතා පසුගියදා සී ඔෆ් ශ්‍රී ලංකා මහුදු සීමාවේ මන්නාරම් බොක්ක සහ ඒ ආශ්‍රත දූපත් නිරීක්ෂණය කළේ ය. නාවික අඥාපතිවරයා හෙලිකොප්ටරයකින් මෙම නිරීක්ෂණ කටයුතු සිදු කළේ, ඉන්දීය - බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අතරතුරයි. අනතුරුව ඔහු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාර්ලින් මහතාව ද හමුව තිබේ. මන්නාරම ද්‍රෝණිය ආශ්‍රිත මුහුදු තීරය හරහා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගංජා, මුහුදු කූඩැල්ලන්, මුහුදු අශ්වයන් කහ ඇතුළු ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ජාවාරම් කිරීම හා ශ්‍රී ලංකාවේ සිට සිදුවන නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම මෙහි අරමුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. කෙසේ නමුත් ශ්‍රී ලංකික ධීවරයින් අද චෝදනා කළේ, යාපනය ආශ්‍රිත මුහුදේ එලා තිබූ දැල් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවලින් පැමිණි ධීවරයින් පිරිසක් කපා දමා ඇති බවටයි. ඉන්දියාව අමෙරිකාව සමග කලාපීය ආරක්ෂාව පිළිබඳව තව තවත් සමීපව කටයුතු කරද්දී කලාපීය භූ දේශපාලනයට චීනයේ බලපෑම පිළිබඳ සංවාදාත්මක තත්ත්වයක් මතුව තිබෙන්නේ චීන ජනාධීපතිවරයාගේ ටිබෙට් සංචාරයත් සමගයි. චීන ජනාධිපති සී.ජිං. පිං මහතාගේ මෙම ටිබෙට් සංචාරය පෙර නිවේදනය නොකළ එකක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ චීන ජනාධිපතිවරයා සිදු කළ මෙම සංචාරය අතරතුර ඉන්දියාවේ අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්ත මායිමට ආසන්න නිරිතදිග ටිබෙටයේ නීයීංකිච්චි නගරයට ද ගුවනින් ගොස් තිබේ.