ඔලිම්පික් ක්‍රීඩා උළෙල ටෝකියෝ නුවරදී ඇරඹේ

විශ්වයේ අසිරිමත් ක්‍රීඩා සැණකෙලිය, ඔලිම්පික් උළෙල ඇරඹේ..

by Staff writer 23-07-2021 | 10:26 PM

COLOMBO (News 1st) - විශ්වයේ අසිරිමත් ක්‍රීඩා සැණකෙලිය ලෙස හඳුන්වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ජපානයේ, ටෝකියෝ නුවරදී ආරම්භ විය.

මෙය 32 වැනි ඔලිම්පික් උළෙල වන අතර, එය පසුගිය වසරේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වසර දක්වා කල් දැමීමට තරගාවලි සංවිධායකයන් පියවර ගැනිණි. ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ ක්‍රීඩා උළෙලක් කල් දමා වෙනත් වසරකදී පවත්වන පළමු අවස්ථාව මෙන්ම ජපානය, ඔලිම්පික් උළෙලකට සත්කාරකත්වය ලබා දෙන දෙවැනි අවස්ථාව මෙයයි. ''මූවිං ෆෝර්වර්ඩ් හෙවත් ඉදිරියට ගමන් කිරීම'' මෙවර ඔලිම්පික් උළෙලේ තේමාව වන අතර අද පැවති සමාරම්භක උත්සවය පැවැත්වුණේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බාක් මහතාගේ ප්‍රධානත්වයෙනි. ජපානය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සමග ගලවා ගැනීමේ සේවකයෙකු ද ඔලිම්පික් ධජය රැගෙන ආ පිරිසට ඇතුළත්වීම විශේෂත්වයකි. කොවිඩ් 19 වසංගතය ඇතුළු විවිධ ව්‍යසන හේතුවෙන් ලොවෙන් සමුගත් පිරිසට උපහාර දැක්වූයේ ඉන් අනතුරුවයි. රටවල් 207කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කට අධික සංඛ්‍යාවක් මෙවර ඔලිම්පික් උළෙලට එක්වන අතර සරණාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පිරිසක් ද ඔවුන් අතර වේ. ශ්‍රී ලංකාවෙන් එක්වන කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් ඇතුළත් ය. අද පැවැති සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාව හිමි වූයේ, ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධනට සහ ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානිටයි. ඇයට අමතරව බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න, පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන මැතිව් අබේසිංහ සහ අනිකා ගෆූර්, ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල, අශ්වාරෝහක ක්‍රීඩිකා මැතිල්ඩා කාල්සන්, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන යුපුන් අබේකෝන් සහ නිමාලි ලියනාරච්චි ද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වේ. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉසව් 339කින් සමන්විත වන අතර ඊට නව ක්‍රීඩා ඉසව් කිහිපයක් ද ඇතුළත් වීම විශේෂත්වයකි. ඒ අනුව, ත්‍රී බයි ත්‍රී පැසි පන්දු, බේස්බෝල් , බී.එම්.එක්ස් පාපැදි වැනි ඉසව් මෙවර ඔලිම්පික් උළෙලට ඇතුළත් වේ.